ඉදිරි මාස හයට ඩො.බි. 3ක විදෙස් ණය සහායක් අවශ්‍යයි – මුදල් ඇමති රොයිටර් වෙත කියයි

ශ්‍රී ලංකාව වෙත ඉදිරි මාස හයක කාලයක් සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක විදෙස් ණය සහායක් අවශ්‍යව පවතින බව නව මුදල් ඇමති අලි සබ්‍රි මහතා පවසයි. ඊයේ දිනයේදී රොයිටර් පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ඉදිරි මාස හයක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් මෙම මුදල් අවශ්‍යව පවතින බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“මෙය අති දුෂ්කර ඉලක්කයක්.“ යනුවෙන් මෙහිදී සඳහන් කර ඇති මුදල් අමාත්‍යවරයා, මෙම මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් සිදු කිරීමට සූදානම් වන එකඟතාවේදී මෙලෙස ඩොලර් බිලියන 3ක මූල්‍යමය පහසුකමක් හිමි කරගෙන සිටීම අතිශය වැදගත් බවත් පෙන්වා දී ඇත.

මෙහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ප්‍රතිව්‍යවුහගත කිරීමට සහ එම ගෙවීම් සඳහා සහන කාලයක් හිමි කර ගැනීමටත්, මේ වනවිට රජය සැලසුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. එසේම ලබන ජූලි මාසයේදී ගෙවීමට ඇති ඩොලර් බිලියනයකට අධික බැඳුම්කර සඳහා එම බැඳුම්කර හිමිකරුවන් සමගින් යම් එකඟතාවකට පැමිණීමට හැකි බව රජය විශ්වාසය පළ කර සිටියි.

“අපේ මේ සියලුම උත්සාහයන් එම ණය ගෙවිම පැහැර හැරීම නොවෙයි. එම ගෙවීම් පැහැර හැරීම හරහා සිදුවන පළවිපාක ගැන අපිට අවබෝධයක් තිබෙනවා.” යනුවෙන් මුදල් අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙහිදී ජේ.පී මෝර්ගන් නම් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් මෙම සතියේදී සිදුකළ ඇස්තමේන්තුවකට අනුව මෙම වසර තුළදී ශ්‍රී ලංකාව සිය ණය සේවාකරණය ලෙස ඩොලර් බිලියන 7ක මුදලක් ගෙවිය යුතුව ඇත. එහිදී රට සතු වත්මන් වෙළෙඳ ගිණුමේ ශේෂයද ඩොලර් බිලියන 3කට ආසන්න බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම මහ බැංකු දත්ත අනුවද රට සතුව මේ වනවිට ගෙවිය යුතුව ඇති ඩොලර් බිලියන 12.6ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණයක් පවතින නමුත්, මේ වසරේ මාර්තු අවසන් වන විට රට සතුව ඇත්තේ ඩොලර් බිලියන 1.9ක විදේශ මුදල් සංචිතයක් පමණක් බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

“මෙතැනදී අපේ ප්‍රමුඛතාව වෙන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ සහ විදුලිය කියන මූලික අවශ්‍යතාවන්හි සැපයුම සාමාන්‍යකරණය කිරීමයි. ඒ හරහා මේ ජනතා නැගී සිටීම්වලට යම් පිළිතුරක් ලබා දෙන්න හැකි වේවි කියලා විශ්වාස කරනවා.” යනුවෙන් සබ්‍රි මෙහිදී පවසා ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සමගින් මේ වනවිට තාක්ෂණික – මට්ටමේ එකඟතාවකට පිවිසීම ආරම්භ කර ඇතැයි සඳහන් කර තිබේ. එසේම ණය වැඩසටහනක් සඳහා මහ බැංකු නිලධාරීන් සමගින්ද සාකච්ඡා ආරම්භ කර ඇතැයි එහි සඳහන්ව තිබුණි.

“අපේ ප්‍රතිපත්ති යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි කටයුතු කරනවා. ඉදිරි දින කිහිපයේදී සහ සති කිහිපයේදී අපි ජ්‍යෙෂ්ට ප්‍රතිපත්ති සම්පාදකයන් සමගින් මෙම වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.්‍

Visits: 254