2022 මුල් කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කට වැඩි විදෙස් ආයෝජන යෝජනා

මේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412ක ආයෝජන යෝජනා 33ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය සදහන් කරයි.

මෙම ආයෝජන අතර  ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති  ප්‍රභවයන් (සූර්ය සහ සුළං), බර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්  ඇතුලත් වේ.

ඒ අනුව 2022 පළමු කාර්තුවේ ලැබුණු නව ආයෝජන යෝජනා සංඛ්‍යාව 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 80%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

වසංගත හා අස්ථාවර ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම නොතකා නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ව්‍යාපෘති පුළුල් කරගැනීම උදෙසා ආරම්භකරන ලද වැඩපිළිවෙල හේතුකොට ගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වී ඇතැයි ආයෝජන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් උදෙසා ස්ථාපිත කරන ලද නවතම ආයෝජන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඔස්සේ ආයෝජකයෙකුට අවශ්‍ය කරන සමස්ථ ආයෝජන ක්‍රියා පටිපාටිය රජයේ අන් රේඛීය ආයතනයන් හා එක් වී වඩාත් පහසුවෙන් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හැකි වී ඇත. මෙය වත්මන් විදේශ විනිමය මූල්‍ය අර්බුදය ජය ගැනීම  සදහා ඇති ප්‍රධානතම සානු බලයක් වනු ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හදුන්වා දුන්  ඩිජිටල්කරන ව්‍යාපෘතිය ඔස්සේ රේගු අනුමැතිය සඳහා කඩදාසි රහිත ආනයන අපනයන ලියකියවිලි හඳුන්වා දීම සහ අපනයන සත්‍යාපන ගාස්තු ස්වයංක්‍රීය ගෙවීම් සිදුකළ හැක. මෙම ජාත්‍යන්තර මට්ටටම් ආයෝජන පහසුකම් සැපයීම ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති  ආරම්භකිරීමට අපේක්ෂිත නව ආයෝජකයින් සදහා  පහසුවෙන් ලබාගත හැකි යටිතල පහසුකම් සහිත සංවර්ධිත ඉඩම් හදුනාගෙන ඇත. ඒ යටතේ  රෙදිපිළි සහ ඖෂධ නිෂ්පාදන, කෘෂි පාදක කර්මාන්ත, විදුලි හා ඉලෙක්ට්‍රොනික, වානේ සහ බැර කර්මාන්ත මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයන් ප්‍රමුඛ කේෂ්ත්‍ර ලෙස හදුනා ගෙන ඇත.

Visits: 108