මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කෙරේ – පොළී අනුපාතික ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට තීරණය කළ බව මහ බැංකුව අද නිවේදනය කර සිටියි.

අද දිනයේදී පැවැත්වුණු මුදල් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගත් බවත්, අද දිනයෙන් පසුව මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50%ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50%ක් දක්වාත් ඒකක 700කින් ඉහළ දමා ඇති බව මහ බැංකුව පවසයි.

අවසන් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50%ක් ලෙසද, ණය පහසුකම් අනුපාතිකය 7.50%ක් ලෙසද පැවතුණි.

විශේෂයෙන්ම ඉදිරි කාලසීමාවේදී රට තුළ උද්ධමන පීඩනය තවදුරටත් ඉහළ යනු ඇතැයි මුදල් මණ්ඩලය මෙහිදී සඳහන් කර තිබේ. එහිදී මූලිකවම සමස්ත ඉල්ලුමේ සිදුවන ඉහළ යාම, දේශීයව පවතින සැපයුම් බාධා, විනිමය අනුපාතය අවප්‍රමාණය වීම මෙන්ම ගෝලීයව පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම යනාදිය ඊට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව ඉල්ලුමත් සමගින්ම ආර්ථිකය වෙත එල්ල විය හැකි මෙම උද්ධමන පීඩනය මඟහැරවීමේ අරමුණින් මෙලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට තීරණය කළ බවත්, විනිමය අනුපාතයන් යළිත් ස්ථාවර කිරීම සඳහා අවශ්‍යවන කටයුතු සඳහා මෙන්ම නිරීක්ෂණය කර ඇති වෙළෙඳ පොළ පොළී සම්බන්ධයෙන් පවතින විෂමතාවන් නිවැරදි කිරිම සඳහාත් මෙම පියවර ගත් බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 343