නව මහ බැංකු අධිපති නන්දලාල්ට, හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය විජේවර්ධනගෙන් පැසසුම්

මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අද (08දා) වැඩභාරගත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද දිනයේදී ඉදිරිපත් කළ සිය පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයේදීම ඉතාමත් හොඳ තීරණ ගෙන ඇතැයි මහ බැංකුවෙහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ආචාර්ය විජේවර්ධන මේ බව සඳහන් කර තිබේ. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මහ බැංකු මුදල් මණ්ඩලය විසින් මෙම මුදල් ප්‍රතිපත්ති සකස් කිරිම සිදුවිය.  

ඒ අනුව අලුතින් පත් වූ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ වනවිට රටෙහි උද්ධමනය සහ නීතිවිරෝධී විනිමය හුවමාරු කිරීම් මර්දනය වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇතැයි ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

“අලුත් මහ බැංකු අධිපති නන්දලාල් අද වනවිට උද්ධමනය පාලනයට සහ නීති විරෝධී වෙළෙඳ පොළේ සිදුවන ඩොලර් ගනුදෙනු නැවැත්වීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා මහ බැංකු පොළී අනුපාත 13.5%ක් සහ 14.5%ක් දක්වා 7%කින් ඉහළ නැංවීම මගින් 19%ක් දක්වා ඉහළ යමින් තිබෙන උද්ධමනය පාලනයට හේතු වේවි. හොඳ පියවරක් නන්දලාල්.” යනුවෙන් එහි සටහන්ව තිබේ.

විශේෂයෙන්ම වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි ප්‍රධානීන් විසින් ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම රටෙහි දේශපාලන අධිකාරිය විසින් ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ සම්බධයෙන් ආචාර්ය විජේවර්ධන මහතා මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය හරහා අවස්ථා ගණනාවකදීම විවේචන එල්ල කළේය.

මේ අතර, ආචාර්ය විජේවර්ධන මහතාගේ මෙම ට්විටර් ගිණුම වෙත අදහස් දක්වා තිබූ ඇතැම් දෙනා, නන්දලාල් මහතා මහ බැංකු අධිපතිවරයා වීමට පෙර එම ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම පියවර නොගත්තේ මන්දැයි යනුවෙන්ද ප්‍රශ්න කර සිටියි.

Visits: 646