ඉන්ධන සහ විදුලිය අර්බුදය නිසා තේ කර්මාන්තය අවුල් සහගත තත්ත්වයක

රට තුළ පවතින ඉන්ධන සහ විදුලිය හිඟය වතුකරයේ දෛනික කටයුතු අඩාල විමට හේතුවක් වී ඇතැයි කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි. ලංකා වාණිජ මණ්ඩලය හරහා නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පවසා සිටියි

ඒ අනුව මෙම අර්බුදය ඉක්මණින්ම විසඳා ගත නොහැකිවුවහොත් ඉන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයිද එම සංගමය මෙහිදී පෙන්වා දෙයි.

විශේෂයෙන්ම වාර්ෂික නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් සපයන කුඩා තේ වතු හිමියන්ට මින් බරපතල බලපෑමක් ඇති කරන බවද එම සංගමය පවසයි. “කුඩා තේ වතු හිමියන්ගේ සහ වතුකරයේ කෙත්වල සිට කම්හල් වෙත අමු දළු ප්‍රවාහනය කිරීම පාහේ කඩාවැටීම සිදුව පවතිනවා. ජනක යන්ත්‍ර සඳහා ඩීසල් නොමැතිකම හේතුවෙන් නිෂ්පාදකයින්ට නියමිත වේලාවට අස්වැන්න සැකසිමට නොහැකි වී තිබෙනවා. ඒ අනුව පවතින තත්ත්වය මත ඇතැම් කර්මාන්තශාලා වැසී යාමට ඇති ඉඩකඩක් පවතිනවා.”

මේ අතර කොළඹට සතිපතා ලැබෙන තේ තොග මත රඳා පවතින තේ වෙන්දේසිද මෙහිදී බලපෑමට ලක්ව ඇතැයි එම සංගමය පවසයි. එහිදී මූලිකවම උග්‍ර ඩීසල් හිඟයක් හේතුවෙන් විවිධ වැවිලි දිස්ත්‍රික්කවලින් මෙම තේ කොළ ප්‍රවාහනය අර්බුදයට ලක්වීම හේතු වී තිබේ. ඒ අනුව මෙය කර්මාන්තයේ සමස්ත වටිනාකම් දාමයට අහිතකර බලපෑමක් ඇති කරන බවත්, එය සතිපතා කොළඹ දේ වෙන්දේසිය කෙරෙහි බලපානු ඇති බවත් තේ වෙළෙදුන්ගේ සංගමය පවසයි.

එසේම මෙම ඉන්ධන සහ විදුලිය නොමැතිකමින් ආනයනකරුවන්ගේ බෙදාහැරීමේ කාලසටහන් නියමිත ලෙස සම්පූර්ණ කිරීමට සහ එම සැපයුම් සපුරාලීමට නොහැකි වීමෙන් ගැනුම්කරුවන් සහ අපනයනකරුවන් දැඩි පීඩාවට පත්වන බවත් එම සංගමය පවසයි.

“මෙහි ප්‍රතිඵලයක් ලෙස තේ ආනයනකරුවන් සිලෝන් ටී වෙනුවට කලාපයේ වෙනත් තේ නිෂ්පාදන වෙත යොමු වීමේ අවස්ථාව ආපසු හැරවිය නොහැකි බලපැමක් බවට පත්වේවි.” තේ වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම අර්බුදය හැකි ඉක්මණින්ම විසඳීමට නොහැකි වුවහොත් එය ජාතික ආර්ථිකයට පමණක් නොව තේ කර්මාන්තය සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින මිලියන 2කට අධික පිරිසකටද බලපෑම් එල්ලකරනු ඇතැයිද තේ වෙළෙඳුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

1894 වසරේදී පිහිටුවුණු තේ වෙළෙඳුන්ගේ සංගමය – තේ වගාකරන්නන්, නිෂ්පාදකයන්, තැරැව්කරුවන් සහ ගැනුම්කරුවන්/අපනයනකරුවන් යනාදී ක්ෂේත්‍ර රැසකින්ම සමන්විත ඉහළම මට්ටමේ පෞද්ගලික ආයතනයකි. අද වනවිට රටෙහි මිලියන 2කට අධික ජනතාවගේ ජීවනෝපාය වෙනුවෙන් මෙම කර්මාන්තය දායකත්වය සපයයි. එසේම එය ග්‍රාමීය ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාමටද එය ප්‍රධානව බලපායි.

ශ්‍රී ලංකාව සිය වාර්ෂික තේ නිෂ්පාදනයෙන් 90%ක් අපනයනය කරන අතර ඉන් ලබා ගන්නා අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට අධිකය.

Visits: 78