DR Investment සතු අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කොටස් ප්‍රතිශතය 51%ක් දක්වා පහතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (AGAL.N0000) සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන DR Investment (පෞද්) සමාගම සිය කොටස් අතරින් 45,312,500ක ප්‍රමාණයක් අලෙවි කර ඇතැයි පවසයි.

මෙය අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය අතරින් 29%ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 50ක මිලකට අලෙවි කර තිබේ.

මෙලෙස අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි එම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ DR Invsetments (පෞද්) සමාගමේ සහෝදර සමාගමක් වන DR Industries (පෞද්) සමාගමයි.

මෙම සමාගම් දෙකම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දමිත රාමනායක මහතාට අයත්ය. කොළඹ පිහිටි මරිනෝ මෝල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ DR Invsetments (පෞද්) සමාගම යටතේය. සුප්‍රසිද්ධ දම්රෝ ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යන්නේ DR Industries (පෞද්) සමාගමයි.

පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කෙරුණු 2021 දෙසැම්බර් 31 වැනි දිනට අවසන් වූ අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව DR Invsetments (පෞද්) සමාගම සතුව ඇති අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය 125,000,000ක් ලෙස සටහන්ව තිබුණි. එය 80%ක ප්‍රතිශතයකි.

ඒ අනුව මෙම අලෙවියත් සමගින්ම DR Invsetments (පෞද්) සමාගම සතු ව ඇති අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී තුළ ඇති කොටස් ප්‍රමාණය 51%ක් දක්වා පහත වැටී තිබේ.

DR Invsetments (පෞද්) සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මිලදී ගත්තේ 2017 වසරේදීය. එම අවස්ථාවේදී සමාගම මගින් නිකුත් කර තිබූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 15,274,527ක් මිලදී ගැනුණු අතර, කොටසක වටිනාකම රුපියල් 18ක් විය. මෙය සමස්ත කොටස් අතරින් 61.1%ක ප්‍රතිශතයක් විය. අනතුරුව ඉතිරි කොටස් හිමිකරුවන්ගේ කොටස්ද එක් කොටසක් රුපියල් 18ක් බැගින් මිලදී ගැනීමටද DR Invsetments (පෞද්) සමාගම කටයුතු යොදා තිබුණි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 47ක් ලෙස සටහන් විය. එය ඊයේ දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 46.60ට සාපේක්ෂව ශත 40ක එනම් 0.86%ක ඉහළ යාමකි.

Visits: 987