CL Synergy සමාගමේ රු.බිලියන 1.28ක මූලික මහජන කොටස් නිකුතුව අප්‍රේල් 07 දා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම වේගයෙන්ම දියුණු වන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමක් ලෙස සැලකෙන CL Synergy සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවිමට සූදානමින් සිටින බව පවසයි.

ඒ සඳහා වන අනුමැතියද මේ වනවිට සමාගම වෙත හිමිව ඇති අතර, ඊට අදාළ මූලික මහජන කොටස් නිකුතුව ලබන අප්‍රේල් 07 වැනිදා විවෘත කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.  

මෙහිදී දායකත්වය සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 63 ක්ද, අලෙවිය සඳහා දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 28.5 ක්ද නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රු. 14.00 බැගින් මිල කෙරී තිබේ. මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස Acuity Partners (පුද්.) සමාගම කටයුතු කරයි.

CL Synergy සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී නිකුත් කෙරෙන මුළු කොටස් සංඛ්‍යාව 91,500,000 කි. ඉන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1.28ක් (1,281,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මේ අතර CL Synergy සමාගමේ ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාදායකයන්ගෙන් බවත් පවසයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් මගින් CL Synergy සමාගමේ කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළවල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වන බව CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා සඳහන් කරයි.

CL Synergy මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම් පත්‍රය https://ipo.clsynergy.com/ හරහා ලබා ගත හැකිය.

Visits: 370