කොළඹ වෛද්‍ය පීඨයේ 150 වැනි සංවත්සරයට සංසරණය කළ හැකි රු.20ක සමරු කාසියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ලබාදුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වැනි සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමක් සහිත සමරු කාසියක් නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම කාසිය නිකුත් කිරිම කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලිම පරිදි සිදු කරන ලද්දක් වන අතර, එය සංසරණය සඳහා එක් කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන් විජයරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම ඊයේ (21දා) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

මෙහිදී කාසි 500,000ක ප්‍රමාණයක් ටංකනය කර ඇති අතර, මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සංසරණයේ පවත්නා අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සමග ගෙවීම් සඳහා මෙම කාසිය භාවිත කළ හැකිය.

මිලිමීටර් 2ක ඝනකමක් සහිත මෙම කාසියේ විෂ්කම්භය මිලිමීටර් 28කි. එහි හැඩය පැති 7ක් සහිතව නිර්මාණය කර තිබේ.

Visits: 39