කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන්ට කොමර්ෂල් බැංකුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය

කොමර්ෂල් බැංකුව ලෝක කාන්තා දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසක් වෙත වෘත්තීය වශයෙන් ප‍්‍රගතියට ඇති අභියෝග, වෘත්තීයට අදාළ උපක‍්‍රම සහ ව්‍යවසායකත්වයට ප‍්‍රවේශ වීම යන විෂයයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළ බව පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමග ඒකාබද්ධ වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනේ අංගයක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

මෙහිදී විද්වත් සාකච්ඡා දෙකක් පැවැත්වුණු අතර එක් සාකච්ඡාවක් සඳහා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ කාන්තා සාමාජිකාවන් නායකත්වය ගෙන තිබුණු අතර අනිත් සාකච්ඡාව සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් වන ප‍්‍රමුඛ ව්‍යවසායිකාවන් පිරිසක් සහභාගී විය.

මෙම අංශයට බැංකුව විසින් ලබාදෙන සාම්ප‍්‍රදායික මූල්‍ය සේවා වලින් ඔබ්බට ගොස් මූල්‍ය නොවන සේවාවන් අවශ්‍ය යැයි අනාවරණය කරගැනීමෙන් පසුව මෙම වැඩසටහන නිර්මාණය කළ බව බැංකුව සඳහන් කරයි.

මෙම පළමු විද්වත් සාකච්ඡාවට කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනියන් වන මිතිලා ශාමිනී මහත්මිය සහ දර්ශනී පෙරේරා මහත්මිය, නීති අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනී නාමල් ගමගේ මහත්මිය සහ ආයතනික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනී, තමාරා බර්නාඞ් මෙනෙවිය සහභාගී වූහ. එහිදී, ඔවුන් විසින් රැකියාව ආරම්භ කර ආයතනික අංශයේ නායිකාවක් දක්වා පැමිණි ගමන් මග පිළිබඳව දැනුවත් කරමින් අදහස් දක්වන ලදී. 

මේ අතර, දෙවන විද්වත් සාකච්ඡාව සඳහා Asian Grammar School සහ Giggles International හි, සමාරම්භක සහ විදුහල්පතිනී, දේශබන්දු ආචාර්ය තුෂාරි කෝරළගේ  මහත්මිය, Good Market Global හි, සම-සමාරම්භක සහ කළමනාකාර අධ්‍යක්ෂ, අචලා සමරදිවාකර මහත්මිය, Brilliant Cuts (Pvt) Ltd හි, කළමනාකාර අධ්‍යක්ෂ, වින්ධ්‍යා පෙරේරා මෙනෙවිය සහ ආනයනික ආහාර සහ පාන සඳහා දේශීය ස්වභාවික විකල්ප නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන Eli Products හි, සමාරම්භක නිරෝ එම්. පීරිස් මෙනෙවිය සහභාගී වූහ. මෙහිදී, මොවුන් විසින් තමන්ගේ සාර්ථක ව්‍යවසායකත්ව ගමන පිළිබඳව අදහස් දක්වන ලදී. 

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා ‘රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය ලබාදීමට බැංකුව ඉදිරිපත් වී සිටිනවා. මෙහිදී, මෙරට ශ‍්‍රම බලකායෙන් 35% ක් පමණ නියෝජනය කරන කාන්තාවන්ට සහයෝගය ලබාදීමට බැංකුව කැපවී තිබෙනවා. තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට කාන්තා සහභාගීත්වය ඉතාමත් වැදගත් යැයි අපි හොඳින් අවබෝධ කර තිබෙනවා. උපාධි අපේක්ෂිකාවන් සමග මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කළේ, ඒ නිසයි.’ යනුවෙන් අදහස් දක්වා තිබේ.

Visits: 58