විධිමත් විනිමය පරිවර්තනයේ වර්ධනයක් – ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ අතිරේක දිරි දීමනාව අවලංගුයි

මෙරට වෙත විදේශ විනිමය එවීම දිරිමත් කිරීමේ අරමුණින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජනා කර තිබූ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව මගින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම් ඉක්මවා ගොස් තිබීම ඊට හේතුව වී තිබේ.

මෙම තත්ත්වයත් සමගින්ම පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අතර නවතම නිල දත්තවලට අනුව 2022 වසරේ මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 210