කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් ඒකාබද්ධ කෙරේ

LOLC සමූහයට අයත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කරගත් බව එම සමාගම් අද නිල වශයෙන් දැනුම් දී සිටියි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීමට අදාළව සමාගම් රෙජිස්ටාර් කාර්යාලය මගින් නිකුත් කරන ලද සහතිකයද එම සමාගම් අද දිනයේදී ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි සටහන්ව ඇති ආකාරයට මෙම ඒකාබද්ධ කිරීම පසුගිය මාර්තු 15 වැනිදා සිදුව ඇත.

ඒ අනුව සමාගම් පනතේ VIII කොටසේ ප්‍රතිපාදනයන්ට අනුව සීමාසහිත සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙලෙස කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත ඒකාබද්ධ කෙරෙන බව එහි සඳහන්ව තිබේ. එසේම එදින පටන් මෙම සමාගම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වශයෙන් පවත්වාගෙන යන බවට සහතික කරන බවත් එහි සටහන්ව ඇත.

මෙම ඒකාබද්ධවීම යටතේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මගින් දැනට සිටින කොටස්කරුවන් වෙත අලුතින් කොටස් 54,363,636ක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් 10,000කටම අලුතින් කොටස් 7,803ක් හිමිවන ලෙස මෙම කොටස් නිකුත් කිරීම සැලසුම් කෙරී ඇත.

එසේම මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව එම සමාගම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ලෙසින් හැඳින්වෙන බවත්, මෙහිදී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 99.15%ක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමටත්, 0.85%ක් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමටත් හිමිවීමට නියමිතව ඇතැයි සමාගම් සඳහන් කරයි.

Visits: 624