දශක ගණනකට පසු ලොව විශාලතම බොරතෙල් සැපයුම් අර්බුදය අප්‍රේල් මාසයේදී?

දශක ගණනකට පසුව ලොව මුහුණ දෙන විශාලතම බොරතෙල් සැපයුම් අර්බුදය ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය (IEA) අනතුරු අඟවා සිටියි. බොරතෙල් වෙළෙඳ පොළ පිළිබඳ සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් එම ආයතය මේ බව පවසා සිටියි.

විශේෂයෙන්ම මෙතෙක් ලෝක වෙළෙඳ පොළට දෛනිකව රුසියාවෙන් හිමිවුණු බොරතෙල් බැරල් මිලියන 3ක ප්‍රමාණයක් අප්‍රේල් මාසය ආරම්භයේ සිට අහිමි වීම මේ තත්ත්වයට මූලිකම හේතුව බවත් එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ රුසියානු බැංකු සහ ගැනුම්කරුවන් වෙත එල්ලවී ඇති සම්බාධක ඊට ප්‍රධාන වී තිබේ.

මෙම ආක්‍රමණය හේතුවෙන් එක්සත් ජනපදය දැනටමත් රුසියානු ඉන්ධන සහ ගෑස් ඇතුළු බලශක්ති නිෂ්පාදන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර, බ්‍රිතාන්‍ය මේ වසර අවසන් වනවිට රුසියානු බලශක්තිය මත යැපීම අත්හිටුවීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත් යුරෝපා සංගමය මෙතෙක් රුසියානු ඉන්ධන සහ ගෑස් පිළිබඳව සම්බාධක පැනවිමක් සිදු කර නැත. එහෙත් යුරෝපා රටවල් කිහිපයක් තනි තනිව සම්බාධක පැනවීම් සිදු කර තිබේ.

මේ අතර ගෝලීය පර්යේෂණ ආයතනයක් වන ජේ.පී. මෝර්ගන් සමාගමට අනුව පසුගිය සතිය වන විට රුසියානු බොරතෙල් නිෂ්පාදන රැගත් නෞකා අතරින් 66%කටම නිසි ගැනුම්කරුවෙකු සොයා ගැනීමේ අපහසුතාවක් මතුවී තිබේ. (ඊට පෙර සතියේදී බ්‍රිතාන්‍ය වෙත පැමිණි මෙවැනි බොරතෙල් නෞකා කිහිපයක් එරටට ගොඩබෑම ප්‍රතික්ෂේප කෙරුණු අතර, එම නෞකා වෙනත් ගනුදෙනුකරුවන් සොයා ආපසු හරවා යෑමද සිදුවිය.)

කෙසේ වෙතත් ඇතිවිය හැකි මෙම හිඟතාව මඟහරවමින් ලබන අප්‍රේල් මාසයේ සිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මූලිකවම ඔපෙක් සංවිධානයේ ප්‍රධානතම සාමාජිකයන් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය වෙළෙඳ පොළ වෙත දෛනිකව නිකුත් කරන සිය බොරතෙල් ප්‍රමාණය ඉහළ දැමිය යුතුව තිබේ.

එහෙත් මෙම සැපයුම් පරතරය පිරවීම සඳහා ඔපෙක් සාමාජික රාජ්‍යයන් මෙතෙක් සිය කැමැත්ත පළ කර නැත.

මේ අතර අද පෙරවරුව වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 100 ඉක්මවා යාම සිදුවිය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.9ක් දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.2ක් දක්වාත් ඉහළ නැග තිබුණි.

සෞදි අරාබිය සහ රුසියාවේ මූලිකත්වයෙන් යුත් OPEC+ සංවිධානයේ සාමාජික රටවල මීළග මාසික හමුව ලබන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී මෙම අර්බුදය සම්බන්ධයෙන් යම් පියවරක් ගනීවි යන්න සැම දෙනාගේ බලාපොරොත්තුව වී තිබේ.

Visits: 558