“මට ඉල්ලා අස්වෙන්න කියලා නැහැ” – මහ බැංකු අධිපති කබ්රාල් කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනපතිවරයා දැනුම්දී ඇතැයි පළවන සියල්ල කටකතා බවත්, ඒවා‍යේ සත්‍යතාවක් නොමැති බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඩේලිමිරර් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් අධිපතිවරයා මේ බව පවසා තිබේ. ඒ අනුව මෙම කටකතාවල සඳහන් ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් අයෙකු තමන්ට ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දීමක් සිදු නොමැති බවත් ඔහු එහිදී වැඩිදුරටත්  සඳහන් කර තිබේ.

“මේ කටකතාවල සත්‍යතාවක් නැහැ. මම තවදුරටත් මහ බැංකුවෙහි අධිපතිවරයා ලෙස කටයුතු කරනවා.” යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇත.

අද ‘‘‘“ද මෝර්නිං“ පුවත්පතේ පළ වූ පුවතකට අනුව පසුගියදා ජනාධිපතිවරයා හමු වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මහ බැංකු අධිපති ධුරයෙන් කබ්රාල් මහතා ඉවත් කළ යුතු බවට උපදෙස් දී තිබූ බවට කටකතාවක් පැතිරෙමින් පවතින බව සඳහන් වුණි. එසේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද කබ්රාල් මහතා වෙත එම ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබූ බවත් එහි වැඩිදුරටත් සටහන්ව තිබුණි.

විශේෂයෙන්ම දැනට රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සහ ඊට පිළියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මහබැංකු අධිපතිවරයා විසින් අවස්ථාගණනාවකදීම ප්‍රතිකිෂේප කිරිම යනාදී කාරණා මේ සඳහා හේතුවක් වී තිබෙන බවත් එම වාර්තාවන්හි සටහන්ව තිබුණි.

ගෙවුණු දින කිහිපයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා එකිනෙකට පරස්පර අදහස් දැක්වීම් රැසක්ම සිදු කළ බවත් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 138