DFCC බැංකුව අභියෝග මැද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

DFCC සමූහයේ විශාලතම සමාගම වන DFCC බැංකුව, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 4,326 ක බදු-පෙර ලාභයක් සහ, රු. මිලියන 3,222 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි . පසුගිය වසරේ බදු-පෙර ලාභය රු. මිලියන 3,398 ක් වූ අතර, බදු-පසු ලාභය රු. මිලියන 2,388 ක් විය.

ඒ අනුව බැංකුවේ කොටසක් සඳහා මූලික ඉපැයුම, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. 10.14 ක් ලෙස වාර්තා වී ඇත. මෙය පෙර වසරේ වාර්තා වූ රු. 7.83 ට සාපේක්ෂව 29% ක වර්ධනයකි.

එසේම බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ 4.93% ක් ලෙස වාර්තා වූ අතර, එය මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී 6.55% දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ බදු-පෙර වත්කම් මත ප්‍රතිලාභයද 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ වාර්තා වූ 0.78% ට සාපේක්ෂව මෙවර 0.91% දක්වා ඉහළ ගොස් ඇත.

DFCC සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. මිලියන 4,859 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,665 ක බදු-පසු ලාභයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ මෙම අගයන් පිළිවෙළින් රු. මිලියන 3,994 ක් සහ රු. මිලියන 2,847 ක් විය. සමූහයේ සියලුම සාමාජික සමාගම් මෙම ප්‍රතිඵල සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ.

DFCC සමූහ ව්‍යාපාරය සමන්විත වන්නේ DFCC Bank PLC (DFCC), සහ ඊට අනුබද්ධ Lanka Industrial Estates Limited (LINDEL), DFCC Consulting (Pvt) Limited (DCPL) සහ Synapsys Limited (SL) යන සමාගම්, හවුල් ව්‍යාපාර සමාගමක් වන Acuity Partners (Pvt) Limited (APL) සහ හවුල්කාර සමාගමක් වන National Asset Management Limited (NAMAL) යන සමාගම් වලිනි.

Visits: 89