පෙබරවාරියේදී නව ඇනවුම් ඉහළ ගියත් ඇණවුමක් සැපයීමට ගත වන කාලය සීඝ්‍රයෙන් ඉහළට

මේ වසරේ පෙබරවාරි මාසයේදී රට තුළ නිෂ්පාදන අංශයේ නව ඇනවුම් හි ඉහළ යාමක් දැකගත හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් එම ඇණවුමක් සැපයිමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදුව තිබේ.

2022 පෙබරවාරි මාසයට අදාළව ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත්කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි. ඒ අනුව පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 52.5ක අගයක් වාර්තා කර තිබේ.

එහෙත් එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව දර්ශකාංක 6.2ක පහළ යාමකි. එසේම පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයිද මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ නව ඇණවුම් ඉහළ යාමක් පෙබරවාරි මාසයේදී දැකගත හැකිව තිබේ. එහෙත් පෙබරවාරි මාසයේදී වැඩකරන දින ගණන අඩුවීම හේතුවෙන් සැම වසරකදිම ඇති වන බලපෑම මෙම මාසයේදීත් එල්ල වී ඇත.

එසේම තොග මිලදී ගැනීම් අඩුවීම සඳහා සැපයුම් අංශයේ බාධාවන් හේතු වී තිබේ. ණයවර ලිපි ප්‍රමාද කිරිම හේතුවෙන් ආනයනික අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ලබා ගැනීමේදී ඇති වූ අපහසුතාවන් ඇති වූ බව මහ බැංකුව මෙහිදී හඳුනාගෙන ඇත.

මේ අතර රට තුළ මෙන්ම ගෝලිය ආර්ථික කටයුතු තවදුරටත් වර්ධනය විමක් අපේක්ෂා කරන බවත්, ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 121