ජාතික ආර්ථික සභාවේ නව උපදේශක කමිටුව පිළිබඳව විවිධ අදහස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුක්තව පසුගිය මාර්තු 09දා පත් කෙරුණු ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කිරීම ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඊයේ සිදු කෙරිණි.

මෙහිදී රට තුළ ආර්ථිකය සම්බන්ධ විද්වතුන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයන් කණ්ඩායමක් මෙලෙස උපදේශකයන් ලෙස පත් කෙරී තිබේ.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය මෙලෙස පත් වූ විද්‍යාර්ථීන් වෙති.

එසේම හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති ධම්මික පෙරේරා මහතා, ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෆ් ඔමාර් මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, ලංකා වාණිජමණ්ඩලයේ වත්මන් සභාපති විශ් ගෝවින්දසාමි මහතා, කොමර්ෂල් බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා, කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමේ සභාපති රංජිත් පේජ් මහතාද මෙම කමිටුවට අයත් වෙයි.

මීට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපති සුරේෂ් ද මෙල් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සුජීව මුදලිගේ මහතා, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සභාපති සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා සහ හේලීස් සමූහයේ විධායක සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාද මෙම කමිටුවේ සාමාජිකත්වය දරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය තුළ පවතින විරෝධතාවට එරෙහිව රජය විසින් ආරම්භ කෙරුණු #WeAreWithGota ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව මෙලෙස විද්වතුන් සහ ව්‍යපාරිකයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් නම් කිරීම සහ ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම යම් කිසි සැලසුමකට අනුව සිදුවූවක් බව ඇතැම් දෙනාගේ අදහස වී තිබේ.

ඒ අනුව මෙම කමිටුව සඳහා නම් කෙරුණු කණ්ඩායම ඉහත සඳහන් කළ එම ප්‍රවර්ධන වැඩසටහනේ නිරූපනශිල්පීන් පිරිසක් ලෙස යොදා ගත්තක් බවටද ඇතැම් පිරිස් පෙන්වා දී තිබුණි.

එසේම රට තුළ පිළිගත් මුල් පෙළේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් අවඥාවට ලක් කිරීමේ අවස්ථාවක් ලෙසද ඔවුන් මෙය හඳුන්වාදී තිබුණි.

පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවැති ජනාධිපතිවරයා සහ ව්‍යාපාරිකයන් අතර හමුවේදී ජනපතිවරයාගේ වැඩපිළිවෙල අගය කරමින් ‘ස වෙරිගුඩ් ස‘ යනුවෙන් පැවසූ ධම්මික පෙරේරා මහතාද මෙම කමිටුවේ සාමාජිකයෙකු වීම පුදුමයක් නොවන බවත් ඇතැම් තැනක සටහන්ව තිබුණි.

එසේම වත්මන් රජය බලයට පත් වූ අවස්ථාවේදී මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකාවකව ලෙස කටයුතු කරමින් සිටි, පසුව ඉන්ඉවත් කළ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය යලිත් රජයේ උපදේශිකාවක ලෙස පත් කිරීම  පිළිබඳව ඇතැමුන් අතර කතාබහක් මතුව තිබේ.

මේ අතර පත්කෙරුණු මෙම නව කමිටුව හුදෙක් උපදේශක කමිටුවක් පමණක් බවත්, ආර්ථික සභාවේ අවසන් තීරණය ගනු ලබන්නේ ඔවුන් නොව එම සභාවේ සාමාජිකයන් බවත් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

“මේකත් හරියට ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදේශකයෝ පත් කළා වගේ. ප්‍රශ්නෙ තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ. ඊට පස්සේ ඒකට උපදෙස් දෙන්න උපදේශකයෝ පත්කළා. ඒත් තීරණයක් ගන්න ඒ උපදේශකයන්ට බැහැ. ඔවුන්ට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න විතරයි. අවසන් තීරණය ගන්නේ කලින් තිබුණු ගැටලු සහගත පාලක මණ්ඩලයමයි.” යනුවෙන්ද ඇතැමුන් මෙම ආර්ථික සභාවේ උපදේශක කමිටුව පිළිබඳව සඳහන් කර ඇත.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ආර්ථික සභාවේ එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ , වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ,  වැවිලි ඇමති රමේෂ් පතිරණ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන්ය.

මෙම ආර්ථික සභාව සෑම සතියකදීම හමුවීමට ජනපතිවරයා විසින් තීරණය කර තිබේ.

Visits: 230