වරාය නගරය ඇතුළු මෙරට ක්ෂේත්‍ර තුළ ආයෝජනයට සෞදි අරාබියට ආරාධනා

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට (Faisal bin Farhan Al Saud) පවසයි.

සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුගේ අවධානයට යොමු වූ අතර ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳවැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පැහැදිලි කර ඇත.

තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සවුදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බව පවසා තිබේ.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද සාකච්ඡාවට ලක් කෙරුණූ බවත් ජනාධිපති කාර්යාලය පවසයි..

ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති අබ්දුල් නසීර් අල් ෆර්හාත්, සවුදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් රහමන් අල්දාවූඩ්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඔගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 112