ඩුබායි එක්ස්පෝ හිදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරණයක්

පසුගිය මාර්තු 3,4 හා 5 වැනි දිනයන්හිදී පැවත්වුණු ඉසව් 4 ක දැවැන්ත සාර්ථකත්වයත් සමගින්ම ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයෙහි ශ්‍රී ලංකා කුටිය වෙත දැවැන්ත ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරණයක් ලැබෙමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මාර්තු මස අවසානයේදී එක්ස්පෝ ප්‍රදර්ශනය අවසන් වීමට නියමිත වන අතර ප්‍රදර්ශනය පැවත්වුණු පසුගිය මාස 6 ක කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරණයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක් ඉක්වීමට නියමිතව ඇතැයිද පැවසෙයි. ඒ අනුව මෙය සෑම අයුරකින්ම අපේක්ෂිත ඉලක්ක අභිබවා ගිය ප්‍රථිඵලයක් බව ශ්‍රී ලංකා සංචරණය ඉතා සතුටෙන් නිවේදනය කර සිටී.

මෙහිදී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ. මල්රාජ් ද සිල්වා, ශ්‍රී ලංකා ඩුබායි කොන්සියුලර් කාර්යාලයේ නලින්ද විජේරත්න සහ ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ අතර ඔවුන් එහිදී ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ඉහළම තලයේ නියෝජිතයින් හා මුණ ගැසී තිබේ.

ශ්‍රී ලංකා සංචරණය විසින් සංවිධානය කරන ලද Sri Lanka Tourism-Expo Travel Trade Business to Business Forum අන්තර් ව්‍යාපාර සමුඵව පසුගිය මාර්තු 3 වනදා අබුඩාබි ශාලාවේ Connect මධ්‍යස්ථානයේදී පැවත්වුණි.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාර මෙහෙයුම්කරුවන් පිරිසක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ගල්ෆ් කලාපය නියෝජනය කරමින් සංචාර මෙහෙයුම්කරුවන් 45 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. කිමාලි ප්‍රනාන්දු මහත්මිය එහිදී සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂීත්වයට හේතු වන විවිධ ආකර්ශණීය පැතිකඩ සහ ශ්‍රී ලංකා සංචරණයේ ඉදිරිගමන් මග පිළිබඳව දැක්ම පැහැදිලි කළ අතර සමුඵවට සහභාගී වී සිටි විදේශ සංචාරක කර්මාන්ත නියෝජිතයින් සහ ජාත්‍යන්තර මාධ්‍යය ඒ කෙරෙහි දැඩි උනන්දුවෙන් අවධානය යොමු කරනු දැකගත හැකි විය.

යොහානිගේ හඬින් වර්ණවත් වුණු සංගීත සන්ධ්‍යාව
පසුගිය මාර්තු 5 වැනි දින ඩුබායි මිලේනියම් ඇම්ෆිතියෙටර් ශාලාවෙහි පැවත්වුණු සංගීත සන්ධ්‍යාව, සමාජ මාධ්‍ය තාරකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනා දුන් යොහානි ද සිල්වාගේ හඬින් වර්ණවත් වූ අතර එදාමෙදා තුර ඉතිහාසයේ එම ශාලාවට එක්රැස් වූ විශාලතම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවද එදින වාර්තා වීම මෙම ඉසව්වේ සාර්ථකත්වය කියා පාන්නකි. 2000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ යොහානි සිය මියුරු හඬින් හා අව්‍යාජ හැඟීමෙන් ගායනා කළ ශ්‍රී ලංකා මාතාව පිළිබඳ ආදරයක් ජනිත කරවන ‘sri lanka you are my paradise’ ගීතයට ප්‍රේක්ෂකයින් වෙතින් ලැබුණේ ගිගුරුම් දෙන අත්පොලසන් සමඟ ඉතා උණුසුම් ප්‍රතිචාරයකි.

යොහානි සමඟ ජනප්‍රිය තාරකාවන් වන ටෙහානි ඉමාරා, දිනුගි හේරත් සහ ශ්‍රී ලංකා සංචරණයේ දීර්ඝ කාලීන සන්නාම තානාපතිවරයෙක් වන ඇල්ස්ටන් කොක් විසින් Sri Lanka Earth Lung ලෙසින් නම් කළ දේශගුණික විපර්යාසය පිළිබඳව ගීතයක් සමඟින් සංගීත සන්ධ්‍යාව ආරම්භ කෙරුණු අතර ඊටද ප්‍රේක්ෂකයින් වෙතින් හිමි වූයේ නොමඳ ප්‍රශංසනීය ප්‍රතිචාරයකි. එමෙන්ම උපුලී චන්න පදනම විසින් ඉදිරිපත් කළ නර්තන සම්මිශ්‍රණ අංගය සංදර්ශනයට දැවැන්ත ආලෝකයක් එක් කළ අංගයක් විය.

නිල් මැණික් ප්‍රදර්ශනය
‘නිල් මැණික් ප්‍රදර්ශනය’ පෙබරවාරි 26 වැනි සෙනසුරාදා දින ශ්‍රී ලංකා මණ්ඩපයේදී පැවැත්වුණු අතර එහිදී ඩොලර් මිලියන 100කට වඩා වටිනාකමින් යුත් නිල් මැණික් ප්‍රදර්ශනය කෙරිණි. ලොව පුරා ප්‍රසිද්ධ වූ ශ්‍රී ලාංකේය නිධානයක් වන විශාල නිල් මැණික් පොකුර වෙත මෙහිදී සැමගේ අවධානය යොමු විය. එමෙන්ම වසර දහසකට වඩා ඉතිහාසයක් හිමි, 10 වැනි සියවසේ සිට පැවත එන කුෆික් අරාබි නිල් මැණිකද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් විය.

ප්‍රදර්ශනයේ තිබූ මැණික් පිළිබඳව පැහැදිලි කරදීම ලොව ප්‍රකට ස්වර්ණාභරණ විශේෂඥවරියක් වන හෙලන් මොල්ස්වර්ත් විසින් සිදු කෙරුණු අතර ඇය විසින් එක් එක් මැණික් ගලෙහි ඇති වැදගත්කම සහ ශ්‍රී ලංකාවට එහි සබඳතාවය පැහැදිලි කරනු ලැබිණි. “ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම විශිෂ්ට තත්ත්වයේ සහ විවිධත්වයෙන් යුත් මැණික් නිෂ්පාදනය කර තිබෙන භූමියක්. ඒ අතරිනුත් ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ නිල් මැණික් වෙනුවෙන්. ලෝකයේ සුන්දරම ස්ථානයකින් ස්වභාවධර්මයේ අසිරියෙන් බිහිවෙන මේ ආශ්චර්යමත් මැණික් එකතුව ප්‍රදර්ශනය කරන මේ අවස්ථාවේ කොටස්කාරියක් වීමට ලැබීම මට විශාල ගෞරවයක් බව පැවසිය යුතුයි” යනුවෙන්ද ඇය සඳහන් කර තිබේ.

එමිරේට්ස් ගුවන් සමාගම සමඟ අවබෝධතා ගිවිසුම
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ගෝලීය ගමනාන්ත සමඟ සම්බන්ධතා සහතික කිරීම සඳහා එමිරේට්ස් එයාර්ලයින්ස් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු 4 වැනි සිකුරාදා එමිරේට්ස් මූලස්ථානයේදී සිදු වූ අතර, එය දෙපාර්ශවයටම වටිනාකමක් ඇති හවුල්කාරිත්වයක් වශයෙන් ඉතා වැදගත් අවස්ථාවක් විය. එමිරේට්ස් එයාර්ලයින්ස් යනු ශ්‍රී ලංකාවේ සංචාරක සහ සංචාරක ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සහකරුවෙකි. විශේෂයෙන් වසංගතයේ උච්චතම අවස්ථාවෙහිදී, ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සහතික කරමින් මෙරට සංචාරක කර්මාන්තයේ පැවැත්මට සහ දියුණුවට එමිරේට්ස් සමාගම විසින් විශාල මෙහෙයක් සිදු කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලංකා සංචරණය සහ එමිරේට්ස් ගුවන් සේවය අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, ශ්‍රී ලංකාවට ඉතා වැදගත් උපායමාර්ගික වෙළඳපොළක් වන මැද පෙරදිග කලාපයේ ඒකාබද්ධ ප්‍රවර්ධන සිදු කිරීමටත් අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකා සංචරණය සහ එමිරේට්ස් එයාර්ලයින්ස් අතර වසර 35කට අධික සුහදතාවය අලු‍ත් කළ මෙම ගිවිසුමට අත්සන් තැබීම එමිරේට්ස් ගුවන් සේවයේ බටහිර ආසියා හා ඉන්දීය සාගර කලාපයේ වාණිජ ගුවන් සේවා අංශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සභාපති අහමඩ් කූරි මහතා සහ ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු කෙරිණි.

Visits: 163