ස්වයං රැකියා හා ගෘහාශ්‍රිත කර්මාන්ත ශක්තිමත් කිරීමට SLIM වෙතින් උපදෙස්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන  “ගමටMarketing” පුහුණු වැඩමුළු මාලාව හා සමගාමීව SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවේ (MDEC) ප‍්‍රධානත්වයෙන්, ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2022 පෙබරවාරි මස 25 වැනිදා SLIM Business School පරිශ‍්‍රයේදී අති සාර්ථක ලෙස සංවිධානය කෙරිණ.

“SLIMගමට Marketing”පුහුණු වැඩමුළු මාලාව ව්‍යවසායකයන් විශේෂඥ දැනුමෙන් ශක්තිමත් කිරීමෙහිලා 2021 වසරේ මාර්තු මාසයේ පත් කරන ලද ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවේ (Market Development Expert Committee – MDEC) මෙවර අවධානය යොමු වූයේ ස්වයං රැකියා,ගෘහාශ‍්‍රිත කර්මාන්ත සහ සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් පිළියම් යෙදීම කෙරෙහිය.

“SLIMගමට Marketing”පුහුණු වැඩමුළු තුලදී නිෂ්පාදන සඳහා වෙළෙඳ නාමයක් ලබාදීම,මිලක් නියම කිරීම හා ඇසුරුම් කිරීමෙන් පසු අලෙවි කිරීම ලෙස ග‍්‍රාමීය ව්‍යාපාරිකයන් කාටත් හුරුපුරුදු සාමාන්‍ය විකුණුම් ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගොස් අලෙවි කළමනාකරණ මූලධර්ම උපක‍්‍රමික හා ප‍්‍රායෝගික වශයෙන් ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා භාවිතා කිරීම පිළිබඳ පුළුල් ලෙස පැහැදිළි කෙරේ.

එමෙන්ම සාර්ථක ව්‍යවසායකයෙකු වීම සඳහා අවශ්‍ය කුසලතා සවිබල ගැන්වීම හා මානසික සවිමත්බව වර්ධනය කිරීමද “SLIMගමට Marketing” පුහුණු වැඩමුළු තුළදී සිදු කෙරේ.

“SLIMගමට Marketing”ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතාගේ මගපෙන්වීම යටතේ කටයුතු කළ වෙළෙඳපොළ සංවර්ධන විශේෂඥ කමිටුව (MDEC)වෙනුවෙන් වසන්ත මල්ලිකාරච්චි මහතා ^Global Tech Group of Companies සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ,2006/7 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති,2007/8 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ ගරු මහලේකම්), සරත් ප‍්‍රනාන්දු මහතා (බෙරෙන්ඩිනා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ,2007/8 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති,2006 ආසියානු පැසිෆික් අලෙවිකරණ සම්මේලනයේ ප‍්‍රථම ශ්‍රී ලාංකීය ගරු මහලේකම්,2006 ලෝක අලෙවි සම්මේලනයේ කමිටු සාමාජික), රොහාන් සෝමවංශ මහතා ^DSI Trading Company විධායක අධ්‍යක්ෂ,2010/11 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති,2018 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ ගරු සභාපති,2021 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ උපදේශක),සුරංජිත් ස්වාරිස් මහතා ^Prologics IT Solutions (Private) Ltdඅධ්‍යක්ෂ,2019/20 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති,2021 කොළඹ ව්‍යාපාර සංගමයේ උප සභාපති,ව්‍යාපාර සහ අලෙවිකරණ උපදේශක) සහ මධුරංග වීරතුංග මහතා (සිම් ලංකා පුද්ගලික සමාගමේ අලෙවි ප‍්‍රධානී,ව්‍යාපාර සහ අලෙවිකරණ උපදේශක) යන මහත්වරුන් දායකත්වය දැක්වීය.

SLIM සභාපති තිලංකා අබේවර්ධන මහත්මිය වැඩමුළු පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ජාතික මෙහෙවරක නියැලි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අපි සැමවිටම දේශීය ව්‍යාපාරිකයන් වෙනස්වෙන තරගකාරී ව්‍යාපාරික ලෝකයට ගැලපෙන ආකාරයෙන් සවිබල ගැන්වීම උදෙසා විවිධ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරනවා. අපේ රටේ ස්වයං රැකියා මෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයන් බොහෝ ප‍්‍රමාණයක් සිටිනවා. ජාතික ආර්ථික සංවර්ධනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්. ඒ නිසා එම ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවක්.  “SLIMගමට Marketing”පුහුණු වැඩමුළු හරහා අපි ග‍්‍රාමීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.” යැයි පැවසීය.

Visits: 348