Aitken Spence හට අයත් ඇඹිලිපියේ ACE Power වෙතින් 93MWක් මිලදී ගැනීමට PUCSL අනුමැතිය

රට තුළ පවතින විදුලි අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස ඇඹිලිපිටියේ පිහිටි ACE Power (Embilipitiya) සමාගමෙන් මෙගාවොට් 93ක (93MW) විදුලි බලයක් මිලදීගැනිම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලිම අනුමත කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

පසුගිය සිකුරාදා දිනයේදී කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මාස හයක කාලයක් සඳහා මෙම විදුලි බලය මිලදී ගැනීමේ එකඟතාවකට පිවිසීම සඳහා අනුමැතිය ලබා දීම සිදු කර තිබේ. විශේෂයෙන්ම ජල විදුලිබලාගාර ආශ්‍රිත නිෂ්පාදනය බිඳ වැටීමත් සමගින්ම, දකුණු ප්‍රදේශයේ අඛණ්ඩ විදුලි සැපයුම වෙනුවෙන් මෙම යෝජනාය විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වෙයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ACE Embilipitiya ඩීසල් දහන විදුලි බලාගාරය මෙරට සුප්‍රසිද්ධ සමාගමක් වන Aitken Spence PLC සමාගමට අයත් වෙයි. එහි ධාරිතාව මෙගාවොට් 100කි.

“අපගේ තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා ගැනීමට අරමුදල් නොමැතිවීම රට පුරා විදුලිය බිඳවැටීමට මූලිකම හේතුව වී තිබෙනවා. ඒ වගේම අද වනවිට අපගේ ජල විදුලි නිෂ්පාදනයත් බිඳ වැටී තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ සහ මේ වසරේ ජනවාරි මාසයේදී විදුලියනිෂ්පාදනය කෙරුණේ මේ ජල විදුලි බලය ආධාරයෙනුයි.” යනුවෙන් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස පෞද්ගලික විදුලිබලාගාර හරහා විදුලිය මිලදී ගැනීම සම්බන්දයෙන් මේ වසර ආරම්භයේදීම අමාත්‍යාංශය වෙත යෝජාන ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ACE Embilipitiya සමාගමෙන් එම විදුලිය මිලදී ගැනීම සඳහා වන කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.

කෙසේ වෙතත් මෙලෙස රට තුළ විදුලි අර්බුධ පැනනගින අවස්ථාවලදී ලංකා විදුලි බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් පෞද්ගලික විදුලි බලාගාර හරහා විදුලිය මිලදී ගැනීම් සිදුවිය. කෙසේ වෙතත් එහිදී විදුලි ඒකකයක් වෙනුවෙන් වැඩිමුදලක් ගෙවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් රුපියල් බිලියන ගණනින් රජය‍ට පාඩු සිදුව තිබෙන බවත් මීට පෙර පාර්ශ්ව කිහිපයකින්ම අනාවරණය වීතිබුණි.

Visits: 499