මහ බැංකු අධිපති සහ ස.ජ.බ. ආර්ථික කේන්ද්‍රයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර හමුවක් ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පැවැත් වී තිබේ.

රටෙහි වත්මන් ආර්ථික අර්බුදය සහ ඊට විපක්ෂය ලෙස ලබාදෙන යෝජනා සහ විසඳුම් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡාකිරීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර්හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මහ බැංකු අධිපතිවරයා හමු වී ඇත. මෙම මන්ත්‍රීවරුන් සමජි ජන බලවේගය පක්ෂයේ ආර්ථික කේන්ද්‍රය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වී ඇත. මහ බැංකුවෙහි ජ්‍යෙෂ්ට නිලධාරින් කිහිප දෙනෙකුද ඊට සම්බන්ධවී තිබේ.

මෙම හමුව සම්බන්ධයෙන්අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, ආර්ථිකය සම්බන්ධයෙන් සෑම පක්ෂයක් වෙතම සිය අදහස් දැක්වීමට තමන් අවස්ථාවක් ලබාදෙන බවත්, ඒ හරහා වඩාත් සාර්ථක තීරණ ගැනිමට අවස්ථාව ලැබෙන බවත් පවසා තිබේ.

මේ අතර මහ බැංකු අධිපති කබ්රාල් මහතා අතර පැවැති සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා, උද්දමනය පාලනය කිරීම හා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යෑමේ මහ බැංකුවේ ප්‍රධාන වගකීම් දෙකෙන් මහ බැංකුව අසාර්ථාක වී ඇතැයි පෙන්වා දුන් බව පවසයි.

විශේෂයෙන්ම මහ බැංකුව උද්දමනය පාලනය කිරීම සඳහා නිසි ක්‍රමයක් අනුගමනය නොකිරීමෙන්  භාණ්ඩ මිල තව දුරටත් ජනතාවට දරා ගත නොහැකි මට්ටමට ඉහල යනු ඇතැයි මීට පෙර රජයට පැවසූ බවත් ඔහු එහිදී මතක් කර දී තිබේ.

“මහ බැංකුව බඩු මිල පාලනය කිරීමට ගෙන ඇති ක්‍රමවේදේය ගැන සෑහීමට පත්විය නොහැකි අතර ඒ සඳහා මහ බැංකුව ස්වාධීනව කටයුතු නොකිරීම ප්‍රධාන හේතුවයි. ඒ අනුව මහ බැංකුවේ දැනට අනුගමනය කරනු ලබන වැරදි පෙන්වා දුන් අතර ඒ පිළිබඳව ධනාත්මක අදහස් ද අපි ඉදිරිපත් කළා. පැවැති යහපාලන රජය මුදල් පනත සංශෝධනය කලේ මහ බැංකුව තම ප්‍රධාන වගකීම් ස්වාධීනව ඉටු කිරීමට හැකිවන පරිදියි. මුදල් පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් තවත් බඩු මිල ඉහල යෑම පාලනය කළ හැකි බව මහ බැංකු නිලධාරීන්ට පෙන්වා දුන්නා.” මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා “දෙවන වගකීම වන මූල්‍ය පාලනය ස්ථාවර භාවය ඇති කළ යුතුයි. විවිධ ක්ෂේත්‍රවල අය විවිධ ණය අරගෙන තිබෙන බැවින් ඔවුන්ට ලබා දී ඇති ණය පමාසහන කාලය එක්වරම ඉවත් නොකර ක්‍රමානු කූලව ඉවත් කිරීමේ ක්‍රම වේදයක් හඳුන්වා දීම පිළිබඳව ද ඔවුන් දැනුම්වත් කළා. අද ව්‍යාපාරිකයන්ට තම ණය බේරා ගැනීමට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ පාලනයෙන් තොර සිදුවූ කරුණු කාරනා හේතුවෙන් බැවින් ඔවුන්ට සහන දී රටේ ව්‍යාපාර ආරක්ෂා කිරීම මහ  බැංකුවේ මෙන්ම රජයේ ද වගකීම වේ. ණය සහන කාලය දීර්ඝ නොකලහොත් රට තවත් අර්බුදයකට මුහුණ පෑමට සිදුවෙනවා.

ඒ වගේම රටේ අද ඩොලර් නොමැති අර්බුද  හා අනෙකුත් අර්බුද හේතුවෙන් භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් පීඩාවට පත්වන දුප්පත් අඩු ආදායම් ලාභීන්ට ද සහන සැලසීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. මුදල් අච්චු ගැසීම නිෂ්පාද්නය අඩුවී භාණ්ඩ හිඟකම වැනි රජය පැත්තෙන් ඇති කරන ලද හේතු නිසයි දුප්පත් ජනතාවට පීඩනය වැඩිවී තිබෙන්නේ.මහ බැංකුව උද්දමනය පාලනය නොකරන බැවින් භාණ්ඩ හිඟයට හා මිල වැඩිවීමට මහ බැංකුව වගකිව යුතු බැවින් රජය එහි වගකීම ගෙන ජනතාවට සහන සැලසීමට කටයුතු කළ  යුතුයි.” යනුවෙන්ද පවසා ඇත.

Visits: 72