තෝරාගත් භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමා පැනවෙයි

වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමාකිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ එම තීරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබේ.

ඒ අනුව ඊයේ (09දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී එම භාණ්ඩ 367 ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්යවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. එසේම එම ආනයනික භාණ්ඩ සඳහා ආනයන පාලන බලපත්‍ර ගාස්තු සහ CFI අගය මත ගාස්තු අයකිරීමද නියමිතය.

මෙලෙස ආනයනය සීමා කෙරෙන භාණ්ඩ අතර මස් හා මාළු නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, පිටි ආශ්‍රිත නිෂ්පාදන, සකස් කරන ලද ආහාර, චොකලට්, පැස්ටා වර්ග, මත්පැන් හා බීම වර්ග, දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන, මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන, ඉටිපන්දම් හා ලාම්පු වර්ග, රබර් ආශ්‍රිත නිෂ්පාදන, හම් ආශ්‍රිත නිෂ්පාදන, ගමන් මළු, බුමුතුරුණු, ඇගළුම් හා ආශ්‍රිත නිෂ්පාදන, පාවහන්, හිස්වැසුම්, කුඩ, පනා, සෙරමික් නිෂ්පාදන, වීදුරු නිෂ්පාදන යනාදිය වෙයි.

එසේම විදුලි නොවන ගෘහස්ත උපකරණ, මුළුතැන්ගේ උපකරණ, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, පරිගණක උපකරණ, ඇස් කණ්නාඩි, ඔරලෝසු, සංගීත භාණ්ඩ සහ සෙල්ලම් බඩුද මිට ඇතුළත්ව ඇත.

මීට අමතරව එම ආනයනික භාණ්ඩ අතර ආහාර කාණ්ඩය යටතේ ඇපල්, දොඩම්, මිදි, වියළි මිදි, රටඉඳි, බටර්, මුදවපු කිරි, යෝගට් ආදියද ඇතුළත් වෙයි. එමෙන්ම ඕට්ස්, චොක්ලට් වර්ග, පැස්ටා, කෝන් ෆ්ලෙක්ස්, බෝතල් කළ ජලය ආදියටද ආනයන සීමා පැනවෙයි. ආනයනික මත්පැන් වර්ග හා ආනයනික දුම්වැටි වර්ගද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනය සීමා වී තිබේ.

එසේම සුවඳ විලවුන් හා ක්ලෝන් වර්ග, රූපලාවන්‍ය අයිතම, ටයි වර්ග, ක්‍රීඩා පාවහන්, හම් හා රබර් මිශ්‍රිත පාවහන්, රැවුල කැපීමේ විද්‍යුත් උපාංග ආදියද ආනයනයට සීමා පැනවෙයි.

විද්‍යුත් මෙවලම් කාණ්ඩයට අයත් වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උඳුන්, රයිස් කුකර්, ටෝස්ටර්ස්, තේ සහ කෝපි සෑදීමේ යන්ත්‍ර, ඩිජිටල් සහ වීඩියෝ කැමරා ආදියටද ආනයනයට සීමා පනවා තිබේ.

එමෙන්ම රූපවාහිනී, සහ අත් ඔරලෝසු, මෙන්ම ගිටාර්, ඕගන්,වයලීන් ආදි තෝරාගත් සංගීත භාණ්ඩ කිහිපයකටද මෙම සීමා පැනවීම් අදාළ වෙයි.

Visits: 145