රු. බිලියන 25.5 ක රක්ෂණ වාරික ආදායමක් සමඟ සෙලින්කෝ ලයිෆ් යළිත් ලංකාවේ අංක 1ට

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ නායකත්වය අඛණ්ඩව 18 වන වසරට රඳවා ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම, 2021 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 සඳහා රුපියල් බිලියන 25.565 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කර ඇති අතර එය 15.8% ක වර්ධනයකි.

මෙහිදී, වසර තුළ ලබාගත් රුපියල් බිලියන 15.129 ක ආයෝජන සහ අනිකුත් ආදායම් සමගින් 2021 වසරේ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 40.694 ක් දක්වා 2020 වසරට සාපේක්ෂව 10% කින් වර්ධනය වී ඇත. මේ අතර, සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන වත්කම් වසර අවසන් වනවිට ගෙවී ගිය මාස 12 තුළදී රුපියල් බිලියන 20.748 කින් හෙවත් 15.52% කින් රුපියල් බිලියන 154.455 ක් දක්වා වර්ධනය වී තිබේ. 

එසේම, සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල 2021 දෙසැම්බර් 31 වනදා වනවිට 12% කින් රුපියල් බිලියන 119.634 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ කාලයේදී රුපියල් බිලියන 11.803 ක මුදලක් ජීවිත රක්ෂණ අරමුදලට බැරකර ඇත. එම බැරකළ මුදල 2020 වසරේ බැරකළ මුදලට වඩා 25% ක වැඩිවීමකි. 

සලකා බලන වසරක කාලය තුළදී සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 22.9 කින් හෙවත් 15.23% කින් වර්ධනය වී වසර අවසන් වනවිට සමස්ත වත්කම් රුපියල් බිලියන 173.762 ක්වී තිබේ. එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 1.9 කට අධික වත්කම් වැඩිවීමක් බව සමාගම සඳහන් කරයි. 

අභියෝගාත්මක වසරකදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්යසාධනය පිළිබඳව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ජීවිත රක්ෂණය තුළින් ශ‍්‍රී ලාංකිකයින්ගේ අනාගතය අවධානමෙන් මුදවා ගැනීමේ අපගේ මූලික අරමුණ කෙරෙහි අපගේ අවධානය අඩපණ කිරීමට බාහිර සාධක වලට අවස්ථාව ලබා නොදීමේ වැදගත්කම අපගේ 2021 ප‍්‍රතිඵල මගින් විදහා දක්වනවා. ආර්ථික අවිනිශ්චිතතාවය මගින් ඇතිකළ පීඩනය සහ වෙනස් වන ප‍්‍රතිපත්ති 2021 වසරේදී බොහෝ ව්‍යාපාර වලට අභියෝගයක් එක්කළා. නමුත්, සෙලින්කෝ ලයිෆ් සමාගම තම රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකරමින් වර්ධනය අඛණ්ඩවම පවත්වාගෙන යාමට සමත් වුණා.’   

සලකා බලන වසර තුළදී සමාගම විසින් රුපියල් බිලියන 12.736 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවීමට සමත්වී තිබෙන අතර එය පෙර වසර සමග සැසඳීමේදී 3.8% ක වර්ධනයක් බව සමාගම සඳහන් කරයි. මේ අතර, මෙම කාල සීමාව තුළදී කොටස්කරුවන්ගේ අරමුදලට රුපියල් බිලියන 4.5 ක මුදලක් බැර කිරීම හේතුවෙන් 2021 වසර අවසන් වනවිට රුපියල් බිලියන 44.194 ක් දක්වා වර්ධනය වී තිබේ. 

මේ අතර, සලකා බලන වසර තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලික කොටසකට අදාළ ලාභය රුපියල් 137 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 2021 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් 883.88 ක්වී ඇත. එය 15.8% ක වර්ධනයක් බව සමාගම පවසයි.

Visits: 103