ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ Manta Air සමඟ එකඟතාවකට පිවිසෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ අභ්‍යන්තර ගුවන් සේවයක් වන Manta Air සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹ ඇතැයි එම ගුවන් සමාගම පවසයි.

මාලදිවයිනේ ගැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දකුණු මාලදිවයිනේ Gaafu Alifu Atoll හි Koodhdhoo නගරය දක්වා පියාසර කරන මගීන්ට බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා මෙම ගිවිසුමට පිවිස තිබේ.

Gaafu නගරය යනු Kaddhoo ගුවන් තොටුපලේ සිට මිනිත්තු 40 ක වේගවත් බෝට්ටු ගමනකින් ලඟාවිය හැකි සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහිත ගමනාන්තයකි. එය කිමිදුම් සහ රළ පැදීම සඳහා කදිම ස්ථානයක් වන අතර අලංකාර පිංතූර ලබාගැනීමට හැකි සුන්දර සංචාරක ස්ථානයකි.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී , Gan දූපත වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළ පළමු සහ එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත් වූ අතර වසංගතයට පෙර සතිපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරන ලදී.

පසුව, ශ්‍රීලංකන් පසුගිය දෙසැම්බරයේ Gan වෙත සතිපතා ගුවන් ගමන් ආරම්භ කරන ලදී. එළඹෙන ගිම්හාන සමයේ දී විනෝද චාරිකා සඳහා මාලදිවයිනට විශාල වශයෙන් ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ඒ අනුව 2022 මාර්තු මස 29 සිට සතිපතා ගුවන් ගමන් දෙකක් දක්වා සංඛ්‍යාතය වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය දැන් සැලසුම් කර තිබේ. සුඛෝපභෝගී සංචාරක අංශයේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ගුවන් සමාගම් දෙක අතර ඇති හවුල්කාරිත්ව ගිවිසුම ඉතාම වැදගත් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීමේ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා සඳහන් කළේ සිය ගනුදෙනුකරුවන්ට Gan වලින් ඔබ්බට ගමන් කිරීමට අවස්ථාව ලබා දීම මෙන්ම දකුණු මාලදිවයිනේ ඉහළ මට්ටමේ සංචාරක නිකේතන කිහිපයකට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම සඳහා Manta Air සමඟ හවුල් වීමට හැකි වීම පිළිබඳව සතුටට පත්වන බවයි.
“මාලදිවයින සැමවිටම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඉතා වැදගත් වෙළඳපොලක්, එබැවින් ගුවන් සමාගම මෙම ගමනාන්තය වෙත ගෝලීය සංචාරකයින් සම්බන්ධ කිරීමේ අරමුණින් මාලදිවයින වෙත සිය ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව උත්සාහ කරනවා. එබැවින්, Manta Air සමඟ හවුල් වීමෙන් අපගේ වටිනා පාරිභෝගිකයින් සඳහා නව සංචාරක අවස්ථා නිර්මාණය වනු ඇතැයි විශ්වාස කරනවා. ” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

Manta Air හි ප්‍රධාන විධායක නිලධාරී Mohamed Khaleel මහතා මෙසේ පැවසීය, “Manta Air මාලදිවයින තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාරිභෝගිකයන්ගේ ගමනේ කොටසක් වීමට ලැබීම ගැන ආඩම්බර වෙනවා. අපි Gan ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට Koodhdhoo ගුවන් තොටුපළ දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරනවා., මෙම සහයෝගීතාවය දේශීය සහ විදේශීය සංචාරකයින්ට අඩු ගුවන් ගාස්තු සහ වැඩි ගමන් පහසුවක් සමඟ ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Visits: 76