“විදුලිය සහ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට කර ආර්ථිකය රැක ගන්න” – ලංකා වාණිජ මණ්ඩලය

විදුලි සහ ඉන්ධන සැපයුමට නිතර ඇති වන බාධාවන් හේතුවෙන් සිය සාමාජිකයන්ට සහ පොදුවේ ආර්ථිකයේ සියලුම අංශවලට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය අවධානය යොමු කර ඇතැයි පවසයි.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් වන ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි.

විශේෂයෙන්ම වර්තමානයේ රට මුහුණ දී ඇති විදුලිබල හා බලශක්ති අර්බුදය උද්ගතවී ඇත්තේ රටේ පවතින විදේශ විනිමය හිඟය නිසා බව පෙන්වා දෙන ලංකා වාණිජමණ්ඩලය, මෙම තත්ත්වය සමනය කිරීමට නම් විදේශ විනිමය ගැටලුව විසඳිම සඳහා කඩිනමින් පියවර ගැනීම වඩාත් උචිත මෙන්ම වේගවත් කෙටි කාලීන විසඳුම වන බවත් විශ්වාස කරන බව පවසයි.

එහිදී ප්‍රවීණයන් සමග සාකච්ඡා කරන මධ්‍ය හා දිගුකාලීන වශයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර නිර්දේශ නුදුරේදීම ලබා දීමටද ලංකා වාණිජ මණ්ඩලය අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රමානුකූල සහ විධිමත් ප්‍රවේශයක් භාවිතා කිරීම තුළ රජයට තම බාහිර ණය බැඳීම් සාර්ථකව කළමනාකරණය කිරිමටත්, අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා විදේශ විනිමය සපයා ගැනිමටද අවකාශය ලැබෙන බව ලංකා වාණිජ මණ්ඩලයේ විශ්වාසයයි.” යනුවෙන්ද ලංකා වාණිජමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන්ම 2020 මාර්තු මාසයේදී කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිටම ලංකා වාණිජමණ්ඩලය තනිවමද, අනෙකුත් වාණිජමණ්ඩලයන් සමගද එක්ව අවස්තා ගණනාවකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සම්බන්ධවීමේ වැදගත්කම රජයට පෙන්වා දුන් බවත් මෙහිදී පවසයි.

“මෙම ක්‍රියාවලිය තුළ හිඟ විදේශ සංචිත විදේශ ණය ගෙවිම සඳහා පමණක් යොදා නොගෙන විදුලි උත්පාදනය, භාණ්ඩහා පුද්ගලයන් ප්‍රවාහනය සහ කාර්සික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සැපයුම් මිලදීගැනීම සඳහා යෙදවිමට හැකිවනු ඇත.” යනුවෙන්ද ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

මේ අතර විදුලිය සහ ඉන්ධන සැපයුමට ඇතිබාධා ඉවත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් සංචාරක හා අපනයන ක්ෂේත්‍රවල මෑත කාලිනව දක්නට ලැබුණු ප්‍රබෝධය නැති වීමෙන් ආර්ථිකය වර්ධනයද මන්දගාමීවීමක් සිදුවිය හැකි බවත් ලංකා වාණිජ මණ්ඩලය අවසන් වශයෙන් අවධාරණය කරයි.

Visits: 106