රුසියාවේ Aeroflot මාර්තු 08 සිට සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට යයි

රුසියාවේ ජාතික ගුවන් සේවය මෙන්ම විශාලතම ගුවන් සමාගම වන Aeroflot ගුවන් සේවය ලබන මාර්තු 08 වැනිදා සිට තම සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ මතුව ඇති තත්ත්වයන් මේ සඳහා හේතුව වී තිබෙන බව සඳහන් වෙයි. රුසියාව සහ විදෙස් ගමනාන්ත අතර සබඳතාවක් ඇති කළ ප්‍රධානතම ගුවන් සේවය ලෙසද Aeroflot ගුවන් සේවය සැලකෙයි.

රුසියානු හමුදාවන් යුක්රේනය වෙත සිදුකරන පහරදීම්වලට ප්‍රතිචාර ලෙස ආසන්න දින කිහිපයේදී යුරෝපා සංගමයේ රාජ්‍යයන් Aeroflot ගුවන් සමාගමේ ගුවන් යානා වෙත සිය ගුවන් කලාපය තහනම් කෙරිණි. එසේම රුසියානු ගුවන් සමාගම් වෙත සම්බාධක පැනවිමක්ද සිදුව තිබේ.

ඒ අනුව දැනට විදේශ ගමනාන්ත වෙත ගොස් සිටින සියලුම Aeroflot ගුවන් යානා ලබන මාර්තු 08 වැනිදාට පෙර රුසියාව වෙත ආපසු පැමිණිය යුතුව තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට Aeroflot ගුවන් සමාගම සිය ගුවන් සේවය සඳහා යොදා ගෙන ඇති ගුවන් යානා බොහෝමයක් විදේශ රටවල සිටින හිමිකරුවන්ගෙන් කල්බදු පදනම මත ලබා ගත් ඒවා වෙයි. යුරෝපා සංගමය මගින් පනවා ඇති සම්බාධක යටතේ මෙම කල්බදු පදනමට ලබා ගෙන ඇති ගුවන් යානා මාර්තු 28 වැනිදාට පෙර ආපසු ඒවායේ හිමිකරුවන්ට භාරදිය යුතුව ඇත.

ඒ අනුව එම ගුවන්යානාවල හිමිකරුවන් එම යානා විදෙස් ගමනාන්නතවලදී නැවතත් තමන් වෙත අත්පත් කරගැනීමේ උත්සාහයන්හි නිරත වන බවට පළ වූ වාර්තා සමගින් රුසියාව තෝරාගත් ගමනාන්ත කිහිපයකට සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබූ බවත් පැවසෙයි.

Visits: 267