බයිරහා ෆාම්ස් සමාගම නේවාසික/වාණිජ දේපළ සඳහා ආයෝජනයට සූදානමින්ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී (BFL.N0000) සමාගම ඉදිරියේදී නේවාසික/වාණිජ දේපළ, ඉඩම් සහ ගොඩනැගිලි වෙත මුදල් ආයෝජනයට සූදානමින් සිටින බව පවසයි.

ඒ සඳහා වන අනුමැතිය පසුගියදා පැවැති එම සමාගමේ අවසන් අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී හිමිව තිබේ. පෙරේදා දිනයේදී එම සමාගමෙ කොළඹ කොටස් හුවමාරුවෙ වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී සිටියි.

ඒ අනුව ඉදිරියේදී සමාගම තුළ ද්‍රවශීල අරමුදල්හි අතිරික්තයක් පවතින අවස්ථාවකදී මෙලෙස එම සමාගම මගින් නේවාසික/වාණිජ දේපළ, ඉඩම් සහ ගොඩනැගිලි වෙත මෙලෙස ආයෝජනයට සූදානමින් සිටින බව බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම පවසයි.

එහිදී යම් සුදුසු අවස්ථාවක් උදා වුවහොත්, එවැනි ආයෝජනයක් සිදු වනු ඇති බවත්, එහෙත් එම ආයෝජන ඍජුව හෝ වක්‍රව සිය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ නොවනු ඇති බවත් බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම මගින් පසුගියදා නිකුත් කෙරුණු 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවයක කාලය සඳහා එම සමාගමේ ලාභය රුපියල් 487,197,348ක් ලෙස සටහන්ව ඇත. ඒ අතරින් රුපියල් 366,733,518ක් බදු පෙර ලාභය වන අතර, රුපියල් 138,393,825ක් සිය ඒකාබද්ධ හවුල්කාරීත්ව සමාගම්හි කොටස් හරහා ලැබූ ලාභය වෙයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඊයේ දිනය සඳහා නිමා වන විට බයිරහා ෆාම්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 233.75ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ කොටසක අගය වූ රුපියල් 235.75ට සාපේක්ෂව රුපියල් 2කින් එනම් -0.85%කින් වටිනාකම් අඩුවීමකි.

Visits: 372