“මුදල් විශුද්ධිකරණයට වරාය නගරයේ කිසිදු ඉඩක් නැහැ” – වරාය නගර ආර්ථික කොමිසම

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

“වරාය නගරය සහ අනාගත ආර්ථිකය” මැයෙන් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ඔහු විසින් මෙම අදහස් පළ කෙරිණි.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සහ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික, සාලිය වික්‍රමසූරිය මහතා සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවීය.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරිම් කටයුතු 2022 වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු සම්පුර්ණ කිරීමට හැකියාව ඇති බව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය. මේ වන විට මූල්‍ය කළමනාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචිකිරීම හා අදාළ නීති රෙගුලාසි සම්පූර්ණ කර ඇත.

පරිසර හිතකාමී සහ මනා සැලැස්මක් සහිතව වරාය නගරය දියුණුකිරීම හා අදාළ සංවර්ධන රෙගුලාසි සම්පුර්ණ කර ඇති අතර ඒවා ඉක්මනින් ගැසට් මඟින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ. ඉන් පසුව, ඕනෑම ආයෝජකයෙකුට අදාළ නීති – රීතිවලට අනුව ආයෝජනය කළ හැක.

වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන, වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට යටත් වේ. මෙහි ආයෝජනය චීන සමාගමක් විසින් සිදුකළද එම භුමිය කිසිදු විදේශ රටකට අයත් නොවන අතර බදු පදනම මත එහි ඉඩම් ඕනෑම රටක සමාගමකට ලබාගැනීමේ හැකියාව පවතී.

වරාය නගරය කිසිවකුගේ භූ දේශපාලන අවශ්‍යතා සඳහා ඇති භූමියක් නොවන බවත් එහි එකම අරමුණ වාණිජ්‍ය සහ වෙළෙඳ කටයුතු පමණක් බවත් ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය. “මෙහි වෙළෙදාම ආශ්‍රිත ගනුදෙනු පමණක් සිදුවේ. කිසිවකුට විශේෂ ප්‍රමුඛතාවක් නොමැත. ආයෝජකයන් හා කටයුතු කිරීම ආර්ථික කොමිසම හරහා සිදු කෙරේ. “මහජනතාවට වරාය නගරය තහනම් කලාපයක්” වනු ඇතැයි, යනුවෙන් පැවසෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසූයේ ලංකාවේ ඕනෑම අයෙකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළත් වියහැකි බවයි.

එහි පවතින ඕනෑම වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට ද අවස්ථාව පවතී. එහි ආරක්ෂාව සැපයීම ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ.

වරාය නගරය මෙරට ආර්ථිකය වෙනස් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත්, එහි සේවය කිරීමෙන් මෙරට ජනතාවට විදේශ විනිමය උපයා ගත හැකි බවත්, ජනතාව මේ දෙස ධනාත්මකව බැලිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළීතුරු දුන් ප්‍රියත් බන්දු වික්‍රම මහතා, වරාය නගරයේදී ඕනෑම විදේශ මුදලක් භාවිතා කිරීමට හැකියාව ඇති බව ද පැවසීය. එමෙන්ම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකක ද මෙහිදී භාවිතා කර භාණ්ඩ මිලදී ගත හැකි බව පෙන්වා දෙන ලදි.

එහි සේවකයන්ගෙන් 25%ක් විදේශ ශ්‍රමිකයන් ලෙස රැකියා සඳහා ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන අතර එමඟින් ඔවුන්ගේ විශේෂිත දැනුම මෙරට ශ්‍රමිකයන්ට ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත. දැනටමත් ආයෝජකයන් රැසක් මෙහි ආයෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, උසස් මට්ටමේ ආයෝජකයන්ගෙන් මෙරටට වැඩිම ප්‍රතිලාභ ලබාදෙන ආයෝජකයන් තෝරාගැනීම සිදුකරන බවත් කොමිසමේ සාමාජික සාලිය වික්‍රමසුරිය මහතා පැවසිය.

Hits: 123