යුනියන් ඇෂුවරන්ස් 1:10 ක කොටස් අතුරු බෙදීමේ නිවේදනයත් සමග වටිනාකම් 18.03%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම (UAL.N0000) සිය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය ඉහළ නැංවීමේ අරමුණින් කොටස් අතුරු බෙදීමක් සිදු කිරිමට සූදානමින් සිටින බව පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් අද දිනයේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි එක් කොටසක් තවත් කොටස් 10ක් ලෙස 1:10ක අනුපාතයකින් බෙදීම සිදු කෙරෙන බව සමාගම සඳහන් කරයි.

දැනට යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම මගින් කොටස් හිමිකරුවන් සඳහා නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව මිලියන 58.9ක් (58,928,572ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙම අතුරු බෙදීමත් සමගින්ම එම කොටස් සංඛ්‍යාව කොටස් මිලියන 589ක් (589,285,720ක්) දක්වා ඉහළ යන බවද සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීමේ තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණය සමාගමේ කොටස් හිමිකරුවන්ගෙන් ලබා ගත යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග අතිවිශේෂ සමා සභෘ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වෙන බවත් සමාගම සඳහන් කරයි.

එහිදී මෙම කොටස් අතුරු බෙදීම ඉහත සඳහන් කළ මෙම අතිවිශේෂ මහා සභා රැස්වීම පැවැත්වී එම දින නොමැතිව වෙළෙඳ පොළ දින තුනක් ගත වුණු තැන පැවැත්වෙනු ඇති බවත් යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අනුබද්ධිත රක්ෂණ සමාගමකි.

මේ අතර, අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී පැයක කාලයක් ගත වූ තැනදී (පෙරවරු 11.40ට) යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 378.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 320.25ට සාපේක්ෂව රුපියල් 57.75ක එනම් 18.03%ක ඉහළ යාමකි.

Visits: 172