මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි – ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ (03දා) පැවැති මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ. අද දිනයේදී සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50ක් දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.50%ක් දක්වාද ඉහළ නැංවීමට මෙහිදී තීරණය වී තිබේ. කෙසේ වෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේම පවත්වා ගන්නා බවත් මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම 2022 වසරේ ජනවාරි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ ලෝක ආර්ථික පෙරදැක්ම (WEO) තුළ සඳහන් ආකාරයට ගෝලීය ආර්ථිකය 2021 වසරේදී වාර්තා කළ 5.9%ක වර්ධනයේ සිට 2022 වසරේදී 4.4%ක වර්ධනයක් දක්වා අඩුවීමට නියමිතව තිබෙන බව මහ බැංකුව පවසයි.

මෙහිදී මූලිකවම Omicron වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය, සැපයුම් දාම බිඳවැටීම මෙන්ම නැගෙනහිර යුරෝපය තුළ මතුව තිබෙන භූදේශපාලනික ගැටුම්කාරී තත්ත්වය යනාදිය හේතුවෙන් ගෝලීය ආර්ථික කටයුතු යථාවත්වීම් දුර්වල කරනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගින්ම ගෝලීය උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින් ඇති බවත්, එහිදී ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම මෙන්ම සැපයුම් දාම බිඳවැටීම, යනාදිය අනුව ලොව මහ බැංකු සියල්ලම සිය මුදල් ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කරනු ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.

මහ බැංකුවෙහි මෙම මුදල් ප්‍රතිපත්ති විවරණය 2022 වසර සඳහා සිදු කළ දෙවැනි ඉදිරිපත් කිරීමයි. පසුගිය ජනවාරි මාසයේදී ඉදිරිපත් වූ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.50ක් දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.50%ක් දක්වාද ඉහළ නැංවීම සිදුවිය.

මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට අමතරව මහ බැංකුව විසින් දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී බැංකු අනුපාතිකය (නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සමග ස්වයංක්‍රීයව ගලපනලද) 9.50 සිට 10.50 ක් දක්වා ඉහළ දැමීමක්ද සිදු කර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන 2022 වසරේ 02 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳව මාධ්‍ය හමුව අද දහවල් 12.30ට මහ බැංකුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 219