ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය AN-225 රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි

ලෝකයේ දැනට පියාසැරි මට්ටමේ පැවැති එකම විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් සමාගමට අයත් AN-225 Mriya ගුවන් යානය රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇතැයි යුක්රේන විදේශ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ගුවන් යානය විනාශ වූ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

මෙම AN-225 Mriya ගුවන් යානය කියුව් අගනුවර පිහිටි ඇන්ටනොව් ගුවන් තොටුපොළේ (හොස්ටොමෙල් ගුවන් තොටුපොළ) රඳවා තිබී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට රුසියානු හමුදාවන් මෙම ගුවන් තොටුපොළ අත්පත් කරගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටින අතර, ඊයේ දිනයේදී මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

ඊයේ දිනයේදී නිකුත් වුණු චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මගින්ද මෙම විනාශය පිළිබඳව කරුණු තහවුරු කෙරී ඇත. එහිදී එම යානය රඳවා තිබූ හැගරය ගිනිගෙන විනාශ වන ආකාරය දැක්වෙයි.

1988 වසරේදී සිය ගුවන් ගමන් ආරම්භ කළ මෙම AN-225 Mriya ගුවන් යානය, මේ දක්වා කාලය තුළදී ලොව පුරා භාණ්ඩ සහ මානුෂීය ආධාර ප්‍රවාහනය කිරීම සඳහා දායකත්වය ලබා දී තිබේ. Mriya යනු යුක්රේන භාෂාවෙන් සිහිනය යන්නයි.

මෙම විනාශය පිළිබඳව අදහස් දක්වා ඇති යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා, “රුසියාවට අපේ සිහිනය (Mriya) විනාශ කළ හැකියි. ඒත් අපි කවදාවත් අපේ ශක්තිමත්බවේ සිහිනය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපියානු රාජ්‍යත්වය විනාශ කරන්න දෙන්නේ නෑ. අපි යළිත් නැගී සිටිනවා.” යනුවෙන් පවසා තිබේ.

AN-225 Mriya ගුවන් යානය 2018 වසරේ අප්‍රේල් මාසයේදී මෙරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතද ගොඩබස්වා තිබේ.

Visits: 128