නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් රු.මිලියන 993ක් වටිනා කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB.N0000) සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 16ක් සඳහාම අලුතින් එක් කොටසක් හිමිවන ලෙස සහ දැනට නිකුත් කර ඇති සෑම නිෂ්ඡන්ද කොටස් 16.6ක් සඳහාම අලුතින් එක් කොටසක් හිමිවන ලෙස මෙම කොටස් ලාභාංශ නිකුතුව සිදු කිරිම සැලසුම වී තිබේ.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන කොටස් ලාභාංශ ගෙවිමක් බවද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පවසයි.

ඒ අනුව මේ හරහා නිකුත් කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 15,293,617ක් වන අතර නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 2,332,352ක් ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් 56.10ක් ලෙස මිල කෙරී ඇති අතර, නිෂ්ඡන්ද කොටසක් රුපියල් 58.10ක් ලෙස මිල කෙරී තිබේ.

ඒ අනුව මෙම සමස්ත නිකුතුව හරහා ලබා දෙන කොටස් ලාභාංශවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 993ක් (993,481,553.00ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙලෙස සිදු කරන කොටස් ලාභාංශ ගෙවීමේ අවස්ථාව සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් සිදු කරන ලාභාංශ ගෙවිමක් හා සමාන බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටතු පවසයි.

මෙම කොටස් ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිට කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් බැංකුව සඳහන් කරයි.

පසුගිය සිකුරාදා දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී නේෂන්ස්ට් ට්‍රස්ට් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 53.70ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයේදී පැවැති රුපියල් 53.40ක කොටස් වටිනාකම හා සැසඳීමේදී ශත 30ක එනම් 0.56%ක වර්ධනයක් ලෙස සටහන්ව ඇත.

Visits: 140