කොමර්ෂල් බැංකුවෙන් ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් සඳහා රුපියල් 4.50ක් බැගින් ලාභාංශ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොමර්ෂල් බැංකුව සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව බැංකුව මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා මෙන්ම සෑම නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් 4.50ක් බැගින් ලාභාංශ ගෙවන බව බැංකුව පවසයි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවිම බවද කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 25 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 31 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද කොමර්ෂල් බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොමර්ෂල් බැංකුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීද සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිම සිදු කළ අතර, එහිදීද කොටසකට රුපියල් 4.50ක් බැගින් හිමි විය.

මේ අතර අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා (25දා) දිනයේදී කොමර්ෂල් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 80.10ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරදිනයේ කොටසක අගය වූ රුපියල් 78.90ට සාපේක්ෂව රුපියල් 1.20ක එනම් 1.52%ක ඉහළ යාමකි.

Visits: 119