අඩු මහජන කොටස් සහිත සමාගම් CSE හි ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීමේ සාකච්ඡා?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් ගනුදෙනු සඳහා අඩු මහජන කොටස් ප්‍රමාණයක් නිකුත් කර ඇති සමාගම්, වෙළෙඳ පොළ නියාමන රෙගුලාසි අනුව කටයුතු කිරිම සම්බන්ධයෙන් වන සාකච්ඡා එහි නිලධාරීන් සහ එම සමාගම් අතර මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

අද දිනයේදී පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ බිස්නස් ටයිම්ස් මගින් සිය පුවතක් හරහා මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වා කොළඹ කොටස් හුවමාරුවෙහි නිලධාරියෙකු, “අපි මේ වනවිට අදාළ සමාගම් සමගින් එම සමාගම්වල ගනුදෙනු සඳහා නිකුත් කර තිබෙන මහජන කොටස් ප්‍රමාණය ඉහළ නැංවීම හෝ එම සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි පුවරුවල ලැයිස්තුගතකිරීම්වලින් ඉවත් කිරිමට සාකච්ඡා කරමින් සිටිනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති එම නිලධාරියා, එම සමාගම් අතරින් බොහෝමයක් ආපසු සිය කොටස් පැවරීමක් සිදු කරනු ඇති බවත්, තවත් සමාගම් කිහිපයක් එම අවසන් තීරණය ගැනීමට නියමිතව ඇති බවත් පවසා ඇත.

”මේ සමාගම් සියල්ලම ලැයිස්තුගත සමාගම් විදියට, ඔවුන් තමන්ගේ කොටස් හිමිකරුවන් සමගින් සාකච්ඡා කරලා මේ ගැන තීරණයක් ගන්න වෙනවා. මෙය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. එසේ නොවුණොත්, ඊට අදාළ රෙගුලාසි පැනවිමක් සිදු වේවි.” යනුවෙන්ද ඔහු සඳහන් කර ඇත.

අද වනවිට මෙලෙස අවම මහජන කොටස්හිමිකාරීත්වයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන කොළඹ කොටස් හුවමාරුවෙහි රෙගුලාසි වෙන අනුමත නොවන සමාගම්, ස්වයක්‍රීයවම කොළඹ කොටස් හුවමාරුවෙහි දෙවැනි පුවරුව (Second Board) වෙත හුවමාරුවීම සිදු කෙරේ.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙලෙස ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් නිකුත් කර ඇති සමාගම් පිළිබඳව අදාළ තීරණය ගැනීම සඳහා මූලිකවම හේතු වී ඇත්තේ කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීම සඳහා පසුගියදා හඳුන්වා දුන් නව ගණනය කිරීමේ ක්‍රමවේදයයි.

එහිදී මෙතෙක් සමාගමක සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් (full market capitalization-weighting) සිදු කළ ගණනය කිරීම වෙනුවට, එය චලිත වෙළෙඳ පොළ ප්‍රාග්ධනයක් අනුව බර තබමින් (public float-adjusted market capitalization) ගණනය සිදු කිරීම සිදු වෙයි.

ඒ අනුව මෙතෙක් කලක් එය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් මේ අතරින් සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් ගණනය කිරීමේ අවස්ථාවේදී වැඩි ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත වැඩි බරක්ද, අඩු ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත අඩු බරක්ද තබමින් මෙම ගණනය කිරීම සිදු විය.

එහෙත් මෙම නව ක්‍රමවේදය හරහා සමාගමක ප්‍රාග්ධනය යම් කිසි ආකාරයකට හැසිරවීමක් සිදු කරමින් මෙම සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරිම සිදු කරයි.

මේ අතර, ගනුදෙනු සඳහා අවම මහජන කොටස් ප්‍රමාණයක් නිකුත් කිරීම සම්බන්ධ රෙගුලාසියට යටත් වන සමාගම් දෙවැනි පුවරුව වෙත හුවමාරු කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන්ද දැනටමත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් අදාළ නිලධාරියා පුවත්පත වෙත පවසා තිබේ.

“මේ හරහා අපි සිදු කිරිමට යන්නේ එවැනි සමාගම් වඩා වැඩි කාලයක් අදාළ නියාමන රෙගුලාසි සඳහා අනුකූලතාවක් නොදක්වමින් දෙවැනි පුවරුවේ රැඳී සිටීම අධෛර්යමත් කිරිමයි. ඒ අනුව මෙම සමාගම් මෙලෙස එම රෙගුලාසි වෙත අනුගත කරමින් දෙවැනි පුවරුවෙන් ඉක්මණින් ඉවත් කිරීම සඳහා වන උනන්දුව ඇති කිරීම කොළඹ කොටස් හුවමාරුව බලාපොරොත්තුවයි.” යනුවෙන්ද එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 1154