බයිඩන් අඩියක් පස්සට ගනී, ඉහළ ගිය බොරතෙල් මිල පහළට

රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමත් සමගින්ම ඊයේ (24දා) ඩොලර් 105ක් දක්වා ඉහළ ගිය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද (25දා) පෙරවරුවේ සිට කැපී පෙනෙන අන්දමින් පහළ වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව අද දිනයේ මෙරට වේලාවෙන් පස්වරු 5.00 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.15ක් අගයක් ගත් අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බැරලයක මිල ඩොලර් 95.52ක අගයක් ගෙන තිබුණි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය තවදුරටත් දරුණු මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මේ වනවිට රුසියානු හමුදාවන් යුක්රේනයේ කීව් අගනුවරට සැතපුම් 20ක් පමණ දුරින් ඉදිරියට ඇදෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මෙම පසුබිමත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වුවද මේ වනවිට එම මිල සීඝ්‍රයෙන් පහළවැටීම විශේෂත්වයක් ගෙන තිබේ.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පිළිබඳ විශ්ලේෂකයන්ට අනුව මේ සඳහා මූලිකවම හේතු වී ඇත්තේ අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සිදුකළ රුසියාවට එරෙහි සම්බාධක සම්බන්ධයෙන් වූ වෙනස්කම් මාලාවයි.

මෙහිදී ජනපතිවරයා විසින් මෙතෙක් කලක් එම සම්භාධක වෙත ඇතුළත්ව තිබූ බොරතෙල් සහ බලශක්ති අංශ ඉන් ඉවත් කර අලුත් සම්බාධක කිහිපයක් එක් කර තිබේ. ධවල මන්දිරය සඳහන් කරන ආකාරයට මෙම නව සම්බාධක මගින් රුසියාව වෙත උපරිමව දිගු කාලීන හානියක් සිදු කිරීමේ අවස්ථාවක් පවතින ඒවා බව පැවසෙයි. එසේම ඒ හරහා ඇමෙරිකානු පාරිභෝගිකයන්ට අවම හානියක් සිදුවනු ඇතැයිද ජනපති බයිඩන් මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපති බයිඩන් විසින් මුල් වටයේ සම්බාධක ලෙස පැනවූ සීමා හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල එක් දිනක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යාම එක්සත් ජනපදය වෙතත් දරුණු ලෙස දැනී තිබෙන බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. එම තත්ත්වය මඟ හරවා රට තුළ ගැටලුවක් ඇති නොවීම සඳහා බයිඩන් මෙම තීරණයට පිවිස තිබෙන බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ බැසීම ආරම්භ වූයේ ජනපති ජෝ බයිඩන් මෙම නව සම්බාධක පිළිබඳ නිවේදනය සිදුකළ මාධ්‍ය හමුව අතරවාරයේදීම බවත් පැවසෙයි.

Visits: 300