දම්රෝ සමූහයෙන් කාම‍ර 652ක තවත් දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක්

කොළඹ කොල්ලුපිටියේ පිහිටි මරීනෝ මෝල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය හිමි දම්රෝ සමුහය කොළඹ නගරය තුළ තවත් දැවැන්ත නගර හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව පවසයි.

දම්රෝ සමූහයට අයත් සමාගමක් වන ඩී.ආර්. හෝම් ඇප්ලයන්සස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය හා පියෙස්ට්‍රා පර්නිචර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩී.ආර්. ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතන එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සැලසුම වී තිබේ.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක ආයෝජනයක් සහිතව කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපභෝගී නගර හෝටලයක් ඉදි කිරීම සඳහා සැලසුම් කර ඇත.

ඊයේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. එහිදී මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සලකා බැලීම සඳහා අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ඊට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් හඳුනාගෙන එකී පනත යටතේ අදාළ සහන පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත් සඳහන් වෙයි.

Visits: 316