තිලක් පියදිගම සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවතට

සණස සංවර්ධන බැංකුවෙහි (SDB) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ තිලක් පියදිගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තිරණය කර ඇතැයි එම බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් එවමින් එම බැංකුව මේ බව සඳහන් කර තිබේ.

තිලක් පියදිගම මහතා බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් කිරිම වළක්වාලමින් අධිකරණයේ පනවා තිබූ අතුරු තහනම් නියෝගය බලරහිත බවට අධිකරණය සිදු කළ දැනුම් දීමත් සමගින්ම මෙම තීරණය ගත් බව බැංකුව මෙහිදී පවසා සිටියි.

ඒ අනුව ඊයේ (පෙබරවාරි 22 වැනිදා) සිට බලාත්මක වන පරිදි නිරංජන් ත්‍යාගරාජා මහතා බැංකුවෙහි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ බවත් සණස සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සණස සංවර්ධන බැංකුවෙහි උප ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇත.

තිලක් පියදිගම මහතා සණස සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබුවේ 2019 මාර්තු 01 වැනිදාය.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඒ මහතා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේදී නඩුවක් ගොනුකරමින් තමා බැංකුවෙහි සේවයෙන් අනිවාර්යය නිවාඩු යැවීම හෝ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් කිරිම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් ලබා ගත්තේය.

Visits: 318