HNB Assurance වෙතින් කොටසකට රුපියල් 3.20ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත HNB Assurance PLC සමාගම  (HASU.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය සිකුරාදා (පෙබ.18දා) පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.20ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව HNB Assurance PLC සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 26 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇතැයිද HNB Assurance PLC සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා වන යෝජනාව ඇතුළත් සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ පිළිබඳව කොටස්හිමිකරුවන් දැනුවත් කරන බවත් සමාගම පවසයි.

මේ අතර පසුගිය සිකුරාදා දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී HNB Assurance PLC කොටසක වටිනාකම රුපියල් 52.80ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 53.90ට සාපේක්ෂව රුපියල් -1.10ක එනම් -2.04%ක පසු බැසීමක් ලෙස සටහන්ව ඇත.

HNB Assurance PLC සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙනි. 2021 පෙබරවාරි මාසයේදී ඒ පිළිබඳ නිවේදනය නිකුත් කෙරිණි. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 2.80ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදුවිය.

Visits: 217