පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි ගනුදෙනු තවත් මාස හයකට අත්හිටුවෙයි

පෑන් ඒෂියා බෑන්කිංන් කෝපරේෂන් පීඑල්සී සමාගම, රජයේ සුරැකුම්පත් මත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලද බව එම බැංකුව පවසයි.

ඒ අනුව 2021 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයක් මෙම ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරෙන බවට තමන්ට උපදෙස් ලැබුණු බව එම බැංකුව සඳහන් කරයි.

පළමුවරට මෙම ප්‍රාථමික ගණුදෙනු අත්හිටුවීම සිදු කර තිබුණේ 2017 වසරේ අගෝස්තු 15 වැනිදාය. එසේම අවසන් වරට එම ගනුදෙනු අත්හිටුවීම 2021 වසරේ අගෝස්තු 15 වැනිදා සිදුව තිබුණි.

එහිදී අදහස් දක්වා තිබූ මහ බැංකුව, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝජයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගිවීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුව සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි සිදු කරන අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑම් ඇති නොවන බවත් මහ බැංකුව සෑම අවස්ථාවකදීම අවධාරණය කර සිටියි. 

Visits: 125