අධිභාර බදු පනත් කෙටුම්පත නැවත සලකා බලන්න – ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි

අයවැය යෝජනාවකට අනුව පසුගියදා ගැසට් කරන ලද අධිභාර බදු පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් බරපතල කණස්සල්ලක් පවතින බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව සිය සාමාජික යෝජනා කිහිපයක් ලැබීමෙන් පසු, වාණිජ මණ්ඩලය සිය බදු මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම ඇතිව මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කරන ලද බව එම මණ්ඩලය පවසයි.

“සමූහ සමාගම්වල ලාභාංශ මත ආන්තික සහන සහ ද්විත්ව බදු පැනවීම පිළිබඳ ගැටලු මතු කරන අතරම, ප්‍රතිගාමී බද්ද අත්තනෝමතික බව වාණිජ මණ්ඩලය අවධාරණය කර සිටියි. එසේම ලාභාංශ මත ද්විත්ව බදු පැනවීම සම්බන්ධයෙන් මතු වූ කරුණට මේ වන විට විසඳුම් ලැබී තිබේ . කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මෙහිදී වෙනත් ගැටළු සැලකිල්ලට ගෙන නොමැත” ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

මේ අතර, සියලුම බදු ගෙවන්නන්ගෙන් 10% ක ආදායම් බදු අධිභාරයක්, ආදායම් මට්ටම අනුව විවිධ අනුපාත යටතේ ආදායම් බදු අධිභාරයක් සහ ඉදිරියට ගෙන යා යුතු ණය සලකා බලමින් අධිභාර බද්ද ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප නිර්දේශ රැසක් මණ්ඩලය විසින් සපයන දෙන ලද බවත් සඳහන් වෙයි.

“රට තුළ පවතින මෙම අතිශය අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ පෞද්ගලික අංශයට එල්ල වන බර අවම කර ගනිමින් මෙම ඕනෑම විකල්පයකට ඉලක්කගත ආදායම ඉහළ නැංවිය හැකිව තිබුණා.” මෙහිදී ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම කුඩා අනුබද්ධිත සමාගම් සහ සුළු කොටස් හිමියන් කෙරෙහි එහි අසාධාරණ බලපෑම සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් මට්ටමින් අධිභාර බද්ද යෙදීමෙන් වළකින ලෙසද වාණිජ මණ්ඩලය සිය නියෝජනයන්හි විශේෂයෙන් ඉල්ලා සිටී.

“මෙලෙස සමූහ මට්ටමින් මෙම අයදුම් කිරීමේ ක්‍රමය විශාල සමූහ ව්‍යාපාර සමඟ හවුල් ව්‍යාපාරවලට පිවිසීමට සලකා බලන දේශීය හා විදේශීය ආයෝජකයින්ට බරපතල බාධාවක් විය හැකියි.” ලංකා වාණිජ මණ්ඩලයේ අදහස වී තිබේ.

එබැවින්, මෙම විධිවිධානවලින් ඇතැම් කරුණු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර නැවත සලකා බලන ලෙසත්, ආදායම් ඉලක්ක සපුරා ගැනීම සහතික කිරීම සඳහා විකල්ප යෝජනා සකස් කිරීමට සහාය දෙන ලෙසත් ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 117