PGP Glass Ceylon වෙතින් කොටසකට ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත PGP Glass Ceylon PLC සමාගම (GLAS.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනින අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 21 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස (XD Date) පෙබරවාරි 25 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් PGP Glass Ceylon PLC සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදීද PGP Glass Ceylon PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදුකළ අතර එය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශය විය. එහිදීද සෑම ඡන්දහිමි කොටසකට රුපියල් ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

මීට පෙර ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් සමාගමට අයත්ව තිබූ සමාගම ඉන්දියාවේම PGP Glass සමාගම මගින් මිලදී ගැනීමෙන් අනතුරුව මෙලෙස PGP Glass Ceylon PLC සමාගම බවට පත්විය.

අද දිනයේ දී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී PGP Glass Ceylon PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 17.50ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 18.00ට සාපේක්ෂව ශත 50කින් එනම් 2.78%කින් පහත වැටීමකි.

Visits: 147