හිමිකම් කොටස් නිකුතු නිවේදනයත් සමග ඩොල්ෆින් සහ සීගිරි හෝටල් කොටස් වටිනාකම් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩොල්ෆින් හොටේල්ස් පීඑල්සී (STAF.N0000) සහ හොටෙල් සීගිරිය පීඑල්සී (HSIG.N0000) යන සමාගම් මගින් ඊයේ සිදුකළ හිමිකම් කොටස් නිකුතු නිවේදනයත් සමගින්ම අද දිනයේදී එම හෝටල් සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකක කාලයක් තුළදී ඩොල්ෆින් හොටේල්ස් පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 45.90ක් බවට පත්ව තිබූ අතර, එය ඊයේ (14දා) දිනයේ සටහන් වූ රුපියල් 42.00ට සාපේක්ෂව රුපියල් 3.90ක එනම් 9.29%ක ඉහළ යාමකි.

එසේම හොටෙල් සීගිරිය පීඑල්සී කොටසක වටිනාකම එම කාලය වනවිට රුපියල් 95.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ (14දා) දිනයේ සටහන් ව තිබූ රුපියල් 90.00ට සාපේක්ෂව රුපියල් 5ක එනම් 5.56%ක ඉහළ යාමකි.

ඊයේ නිකුත් වුණු මෙම නිවේදන යටතේ ඩොල්ෆින් හොටෙල්ස් පීඑල්සී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා 1:1 ක් හිමිවන ලෙස නව හිමිකම් කොටස් නිකුත්වක් සිදු කරන බව සඳහන්ව තිබුණි.

සමාගමට අනුව මේ දක්වා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 31,621,477ක් නිකුත් කර ඇති අතර, මෙලෙස අලුතින් නිකුත් කරන හිමිකම් කොටසක් රුපියල් 20.00ක් බැගින් මිල කෙරී තිබේ.

මේ අතර හොටෙල් සීගිරිය පීඑල්සී මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් දෙකක් සඳහාම අලුතින් කොටසක් හිමිවන ලෙස (2 :1ක්) හිමිකම් කොටස් නිකුතුව සිදුකරන බව පවසා තිබේ. එහිදී කොටසක වටිනාකම රුපියල් 30.00ක් ලෙස මිල කෙරී ඇත. මේ දක්වා සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 11,718,000කි.

දැනට ඩොල්ෆින් හොටෙල්ස් පීඑල්සී තුළ සහ හොටේල් සීගිරිය පීඑල්සී සිදු  කෙරෙමින් පවතින අලුත්වැඩියාවන් සඳහා ගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා මෙන්ම සමාගම් දෙකෙහිම මූල්‍ය ස්ථාවරය දියුනු කරගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සඳහන්ව තිබේ.

හේමාස් සමූහයට අයත්ව තිබූ මෙම ඩොල්ෆින් හොටේල් පීඑල්සී සහ හොටෙල් සිගිරිය පීඑල්සී යන සමාගම් අද වනවිට LOLC සමූහයට අයත් වෙයි.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී හේමාස් සමූහයේ සෙරෙන්ඩිබ් ලෙෂර් හෝටල් සමාගම LOLC හි බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම මගින් මිලදී ගැනීමත් සමගින්ම එම හිමිකාරීත්වය පැවරීම සිදුවිය. ඩොල්ෆින් හොටේල් පීඑල්සී සහ හොටෙල් සිගිරිය පීඑල්සී එම සෙරෙන්ඩිබ් හොටේල්ස් සමාගම යටතේ ක්‍රියාත්මක විය. රුපියල් මිලියන 790කට බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම මෙම ගනුදෙනුව සිදුව තිබුණි.

Visits: 372