එලෝන් මස්ක් පුණ්‍යායතනයක් වෙත ඩො. බිලියන 5.7ක් වටිනා ටෙස්ලා කොටස් ප්‍රදානය කරලා

එක්සත් ජනපදයේ පිහිටි සුප්‍රසිද්ධ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා ඉන්කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරියා වන එලෝන් මස්ක්, තමන් සතුව තිබූ ඩොලර් බිලියන 5.7ක් වටිනා එම සමාගමේ කොටස් ප්‍රමාණයක් පසුගිය වසරේදී එරට පුණ්‍යායතනයක් වෙත ප්‍රදානය කර තිබෙන බව වාර්තා වෙයි.

ටෙස්ලා ඉන්කෝපරේෂන් සමාගම පසුගියදා ලිපියක් මගින් මෙම ප්‍රදානය පිළිබඳව එක්සත් රාජධානියේ සුරැකුම්පත් හා විනිමය කොමිෂම වෙත කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව 2021 වසරේ නොවැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා කාලය තුළදී මෙම ප්‍රදානය සිදු කර තිබෙන බව එහි සඳහන්ව ඇත.

මෙලෙස තමන් සතුව ඇති යම් සමාගමක කොටස් ප්‍රමාණයක් පුණ්‍යායනයක් වෙත ප්‍රදානය කිරිම එම පුද්ගලයා වෙත ප්‍රාග්ධන බද්ධක් එකතු නොවන අවස්ථාවකි. ඒ අනුව මෙලෙස ටෙස්ලා සමාගමේ කොටස් ප්‍රදානය හරහා මස්ක් හට අතිවිශාල බදු ප්‍රතිලාභයක්හිමිව තිබෙන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ ප්‍රධානියෙකු, “මෙහිදී ඔහු හිමි කරගෙන ඇති බදු ප්‍රතිලාභය අති දැවැන්තයි. පවතින දත්ත අනුව ඔහු විසින් ගෙවිය යුතුව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක් වටිනා කොටස්වලට ගෙවිය යුතුව තිබූ බදු මුදලකින් 40ත් 50ත් අතර ප්‍රතිශතයක් ආරක්ෂා කරගෙන තිබෙනවා. ඔහු මෙම කොටස් අලෙවි කළා නම් ඔහුට ඊට අදාළව ප්‍රාග්ධන බදු ගෙවිය යුතුව තිබුණා.” යනුවෙන් පවසා තිබේ.

පසුගිය වසරේදී මස්ක් සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් තමන් සතුව ටෙස්ලා සමාගමේ ඇති කොටස් අතරින් 10%ක ප්‍රතිශතයක් අලෙවි කිරීම සුදුසුද යනුවෙන් පරිශීලකයන්ගෙන් විමසා තිබුණි. එහිදී බොහෝ පිරිසක් ඊට ඔව් යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබූ අතර, එම අවස්ථාවෙන් පසුව මෙම කොටස් ප්‍රදානය සිදු කර තිබෙන බව පැවසෙයි.

එසේම මෙම විමසීමෙන් අනතුරුව ගත වුණු කාලයේදී මස්ක් විසින් ටෙස්ලා හි තමන් සතුව තිබූ කොටස් මිලියන 11කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කර තිබූ අතර, තවත් කොටස් මිලියන 6ක් අලෙවි කිරිමත් සමගින්ම එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 10%ක කොටස් ප්‍රතිශතයක් හා සමාන වී තිබේ.

Visits: 220