ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) පාඨමාලා හැදෑරීමට කොමර්ෂල් බැංකුවෙන් මූල්‍ය පහසුකම්

එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත.

මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට ලබාදෙන සහන අතරට ආයතනයේ පාඨමාලා ගාස්තුවෙන් 90% ක් දක්වා පියවිය හැකි අඩු පොලියට ලබාදෙන අධ්‍යාපන ණය සහ කිසිදු පොලියකින් තොරව පහසු ගෙවීමේ සැලසුම් ඇතුළත් විශේෂ ක්‍රෙඩිට් කාඞ්පත් ඇතුළත් වේ. බැංකුව සඳහන් කරන්නේ මෙම ක්‍රෙඩිට් කාඞ්පත් පහසු ගෙවීමේ සැලසුම් වලට අදාළ වන හැසිරවීමේ ගාස්තු සහ කොමිස් ගාස්තු බැංකුව විසින් අය නොකරන බවයි. 

මෙම විශේෂ අධ්‍යාපනික ණය සහ පහසු ගෙවීමේ සැලසුම්, ‘රක්ෂණ සහතිකපත‍්‍ර පාඨමාලාව’ සහ ‘රක්ෂණ ඩිප්ලෝමා පාඨලාව’ හැදැරීම සඳහා අදාළ වන බවත් මෙම පාඨමාලා එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනය සමග ඒකාබද්ධව පවත්වන බවත් බැංකුව සඳහන් කරයි. එසේම, කොමර්ෂල් බැංකුව පවසන්නේ ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් ලබාදෙන පදනම් සහ ඩිප්ලෝමා පාඨමාලා ඇතුළුව ඇතුළුවීමේ මට්ටමේ වෘත්තීය විභාග සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සිදුකළ හැකි බවයි. 

ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සහ කොමර්ෂල් බැංකුව අතර ඇතිකර ගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකු සමූහයේ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව සෑමවිටම තම ගනුදෙනුකරුවන්ගේ වර්ධනය සහ ප‍්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා. එසේම, රටේ සංවර්ධනයට දායකවීමටත් කොමර්ෂල් බැංකුව සෑමවිටම කැප වෙනවා.

ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෘත්තීය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යනය කිරීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග ඇතිකර ගත් මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් වෘත්තීය සංවර්ධනයට අමතරව මෙම ක්ෂේත‍්‍රයේ වෘත්තීය විශිෂ්ටත්වය වර්ධනය වනු ඇතැයි ද අපි විශ්වාස කරනවා.’  කොමර්ෂල් බැංකුව මේ ආකාරයන්ම පසුගිය වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ පශ්චාත් උපාධි සිසුන්ට වරණීය පොලී අනුපාත සහ අනිකුත් ප‍්‍රතිලාභ සමග අධ්‍යාපනික ණය පහසුකම් ලබාදීමට ඒකාබද්ධ වූ අතර 2020 වසරේදී HCL Technologies Sri Lanka සමාගමේ පුහුණු සාමාජිකයින්ට සහ සේවකයින්ට සහනදායී අධ්‍යාපනික ණය ලබාදීමට අත්වැල් බැඳගන්නා ලදී. 

Visits: 100