වින්ඩ්ෆෝර්ස් සමාගමේ 15MW ධාරිතාවක සුළං විදුලි බලාගාර දෙක ඉදිකිරිම් මේ මාසයේ අරඹනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ පිහිටුවන මෙගාවොට් 15ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් මෙම මාසය තුළදී ආරම්භ කරන බව එම සමාගම පවසයි.

පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව වෙනුවෙන් අතරමැදි මූල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් එම සමාගම මේ බව සඳහන් කරයි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මන්ජුල පෙරේරා මහතා විසින් මෙම අනාවරණය සිදු කර තිබේ.

ඒ අනුව මෙහිදී මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාරයක් සහ මෙගාවොට් 5ක සුළං විදුලි බලාගාරයක් ලෙස එම බලාගාර ඉදිකිරිමට නියමිතව තිබේ.

මේ අතර වවුනතිව් පළාතේ ‘සෝලාර් යුනිවර්ස් නමින් සිදු කරන මෙගාවොට් 10ක සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුද මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවත් වින්ඩ්ෆොර්ස් පීඑල්සී සමාගම මෙහිදී සඳහන් කර තිබේ. ඒ අනුව මෙම බලාගාරයේ විදුලි බල නිෂ්පාදන කටයුතු 2022 වසරේ මැයි මාසයේදී පමණ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද සමාගම පවසයි.

මෙලෙස එම බලාගාර දෙකද සමගින් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සතුව ඇති සමස්ත ස්ථාපිත විදුලි ධාරිතාව මෙගාවොට් 245ක් බවට පත්වෙනු ඇති බවත්, සමාගම සතුව ඇති සමස්ත පුනර්ජනනීය බලශක්ති බලාගාර සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ යන බවත් සමාගම සඳහන් කරයි.

මෙම අතරමැදි මූල්‍ය ප්‍රකාශයට අනුව 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ පළමු මාස නවයක කාලය තුළදී එම සමූහය රුපියල් බිලියන 3.6ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව තිබේ. පසුගිය මූල්‍ය වර්ෂයේදී එම කාලසීමාව සඳහා රැස් කරගත් ආදායම රුපියල් බිලියන 2.05ක් විය.

ඒ අනුව පෙර වසරට සාපේක්ෂව මේ වසරේදී රුපියල් බිලියන 1.97ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇති බවත්, එය 4%ක වර්ධනයක් බවත් සමාගම පවසයි.

Visits: 378