වටිනාකම් පහත වැටුණු කොටස් අඩුමිලට මිලදී ගැනීමට දැක් වූ උනන්දුව නිසා වෙළෙඳ පොළ ඉහළට

අද (පෙබරවාරි 10) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දින කිහිපයට සාපේක්ෂව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම වටිනා සමාගම්හි මිල ගණන් අඩුවීමත් සමගින්ම එම කොටස් කේවල් කරමින් මිලදී ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වීම වෙළෙඳ පොළ තුළ ආයෝජක විශ්වාසය වැඩි කිරීමට හේතුවක් වී ඇත. එහෙත් දිනයේ දෙවැනි අර්ධයේදී එම ප්‍රවණතාවත් හින වී ගිය බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,927.12ත් ඒකක 12,318.47ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,207.46ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 09) දිනයට සාපේක්ෂව ඒකක 125.77ක් එනම් +1.04%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+30.7), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+17.7), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+8.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+7.2), සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී SUN (+6.5), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-5.9), සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී AAIC (-4.7), සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී CDB (-4.7), හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී HARI (-3.9), හේලීස් පීඑල්සී HAYL (-3.0) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 117ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 93ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,114.71ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 09) ‍ට සාපේක්ෂව ඒකක 62.13ක එනම් +1.53%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.56ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 09) වාර්තා කළ රුපියල් බිලියන 5.29ට  සාපේක්ෂව 33% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.53ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 0.77%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 75.11ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 70.05ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.06කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 3.28 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් ෆැබ්රික් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  21.38කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.53ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 938ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 657ක සහ රුපියල් මිලියන 578ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 236