ගෞතම් අදානි ආසියාවේම ධනවතා වෙයි

අදානි සමූහයේ සභාපතිවරයා වන ගෞතම් අදානි ආසියාවේම ධනවතා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි. ඊයේ (07දා) දිනය වනවිට සිය වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 88.5ක් දක්වා වර්ධනය කරගනිමින් ගෞතම් අදානි මෙම ස්ථානයට පත්ව තිබේ.

ඒ අනුව මෙතෙක් කලක් ආසියාවේම ධනවතා වූ රිලයන්ස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානි අභිබවමින් අදානි මෙම ස්ථානයට පත්ව ඇත. ඊයේ දිනය වනවිට මුකේෂ් අම්බානිගේ වත්කම එක්සත් ජනපද ඩොලර් 87.9ක් විය.

ආසන්න මාස කිහිපයේදීම ඔවුන් දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් කරට කර තරගයක් පැවැති අතර, මේ වසරේ පළමු මාසයේදී අදානි රැස් කරගත් වත්කම්ද සමගින් මෙලෙස ආසියාවේම ධනවතා බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී පමණක් අදානි සිය වත්කම වෙත තවත් ඩොලර් බිලියන 12ක් රැස් කරගැනීමට සමත්ව සිටියි.

ඒ අනුව වසරේ මේ දක්වා ලොව වැඩිම වත්කම් වර්ධනය කරගත් ව්‍යාපාරිකයා බවටද අදානි නම් කෙරී තිබේ. වරාය, පතල් ඇතුළුව කර්මාන්ත ක්ෂේත්‍ර රැසකම සිය ව්‍යාපාර පුළුල් කර ඇති අදානි සමාගම මේ වනවිට හරිත ව්‍යාපෘති සඳහාද සිය මුදල් ආයෝජනය කිරීම වෙත යොමුව තිබීම මෙලෙස වත්කම් ඉහළ යාමට හේතුවක් ලෙස බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ගෞතම් අදානි විසින් දැනටමත් වසර 2030 වන විට ඉන්දියාව තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක  ආයෝජන සිදු කරන බවට පොරොන්දු ලබා දී තිබේ. ඒ හරහා සිය සමූහය ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීම අරමුණ බවත් ඔහු පවසා තිබේ.

Visits: 2380