හෙල ඇපරල් 21/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09දී රුපියල් බිලියන 41.6ක ආදායමක් වාර්තා කරයි

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවයක කාලය තුළදී රුපියල් බිලියන 41.6ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. මෙය 2020/21 මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී සමාගම රැස් කරගත් ආදායමට සාපේක්ෂව 88%ක වර්ධනයකි.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා වන අතරමැදි මූල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මේ බව සඳහන් කර තිබේ.

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම පසුගිය ජනවාරි 12 වැනිදා සිදුකළ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව, අද (පෙබරවාරි 07 වැනිදා) සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිම සිදු කිරිමට නියමිතව තිබේ.

මෙහිදී Hela-N-0000 යන කේතය යටතේ හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි කොටස් ලැයිස්තුගත කෙරෙන අතර, එහිදී ගනුදෙනු සඳහා ඉදිරිපත් වන සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 1,303,117,944කි.

මෙම අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවයේදී සිය බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 1.1ක ලාභයක් හිමි කරගැනීමට සමත්ව තිබේ. එය පෙර වසරේ එම කාලසීමාවේදී හිමි කරගත් ලාභය හා සැසඳීමේදී 173%ක වර්ධනයක් ලෙස සඳහන් වෙයි.

මේ අතර ගණන් බලා ඇති මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී අලෙවි ධාරිතාවය සම්බන්ධයෙන් වාර්තා කළ ධනාත්මක ප්‍රවණතාවයේ අඛණ්ඩතාවත් සමගින් පසුගිය මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව මේ වසරේ තෙවැනි කාර්තුවේදී එහි නිෂ්පාදනයන් 44%ක වර්ධනයක්ද පෙන්නුම් කර තිබේ.

මේ කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි සභාපති ආර්.ආර්. රාසියාහ් මහතා, “අපගේ ප්‍රධානම වෙළෙඳ පොළ වන යුරෝපය සහ උතුරු ඇමෙරිකාව තුළ පවතින පාරිභෝගික ඉල්ලුමේ අඛණ්ඩතාව මෙම ප්‍රතිඵල මගින් පිළිඹිබු කෙරෙනවා.“ යනුවෙන් පවසා තිබේ.

දශක තුනකට අධික කාලයක ඇගලුම් කර්මාන්තයේ අත්දැකීම් සහිත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම සතුව අද වනවිට ලොව රටවල් 06ක පිහිටි කර්මාන්තශාලා 11ක් පවතී. සමාගම සතු සමස්ත සේවකයන් සංඛ්‍යාව 18,000කට අධිකය.

මෙම කර්මාන්තශාලා අතරින් මූලස්ථානය, නිර්මාණ මධ්‍යස්ථානය සහ කර්මාන්තශාලා 7ක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ. එසේම එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිර්මාණ මධයස්ථාන එක බැගින් පිහිටා තිබේ. එක්සත් ජනපදයේද තවත් නිර්මාණ මධ්‍යස්ථානයක් පිහිටා තිබේ.

මීට අමතරව අප්‍රිකාවේ පිහිටි ඉතියෝපියාව සහ කෙන්යාවේ කර්මාන්තශාලා 2ක බැගින්, ටැන්සානියාවේ, මොසැම්බික් යන රාජයයන්හි කර්මාන්තශාලා 1ක බැගින්ද එම සමාගමට අයත්ය. ඊජිප්තුවේ පිහිටාවා ඇති කර්මාන්තශාලාව මේවසරේදී මෙහෙයුම් ආරම්භ කරන බව පවසයි.

ඒ අනුව මෙම මෙහෙයුම් හැකියාවන්ද සමගින් එම සමාගම 100%ක්ම ඩොලර් ආදායම් ඉපැයීමක් සිදුකරන සමාගමක් ලෙසත් හඳුන්වා දී තිබේ.

පසුගිය ජනවාරි 12 වැනිදා සමාගම සිදු කළ මූලික මහජන කොටස් නිකුතුවේදී සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 267,108,998ක් නිකුත් කෙරුණු අතර, එම එක් කොටසක් රුපියල් 15.00ක් ලෙස මිල කෙරී තිබේ. ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4ක් ලෙස ගණන් බලා තිබුණි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගත් රුපියල් බිලියන 4ක මුදල සිය ව්‍යාපාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා ගන්නා බව හෙළ ඇපරල් සමාගම පවසයි. දැනටමත් එම සමාගමේ ඇගලුම් කර්මාන්තශාලා ශ්‍රි ලංකාවට අමතරව අප්‍රිකාව තුළත් ව්‍යාප්තව තිබේ.

ඒ අනුව මෙම රැස්කරගන්නා අරමුදලින් 25%ක් සිය ඇගලුම් නිෂෟපාදන සඳහා අවශ්‍ය රෙදි නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙත ආයෝජනය කිරීම සැලසුම වී ඇත. එසේම 15%ක් සමාගමේ ඩිජිටල් කටයුතු සංවර්ධනය සඳහාත් යොදවන බව පවසයි. මීට අමතරව ඉතිරි 60%ක ප්‍රතිශතය සමාගමේ පරිපාලිත සමාගම් වෙත යොදවන බව හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පවසයි.

Visits: 615