හේමාස් හෝල්ඩිංග්ස් සිය මියන්මාර මෙහෙයුම් අත්හිටුවයි

කොළඹ කොටස් හුමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මියන්මාරය තුළ සිදු කළ සිය මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළ බව පවසයි. මියන්මාරය තුළ පවතින අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය ඊට හේතුව බව සඳහන් වෙයි.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා සමාගම මගින් ඉදිරිපත් කළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනය තුළ සටහනක් තබමින් හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනි කස්තුරි චෙල්ලරාජා මහත්මිය මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව මියන්මාරය තුළ හේමාස් සමූහයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ඇති කරගෙන තිබෙන ඒකාබද්ධ හවුල්කාරීත්වය සමගින් සිය මෙහෙයුම් අලෙවි කිරීම සම්බන්ධයෙන් එකතාවකට පැමිණ ඇතැයිද සමාගම මෙහිදී සඳහන් කර ඇත.

“මියන්මාරය තුළ පවතින අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය හේතුවෙන් අපි දැනටමත් එරට ඇති හේමාස් හෝල්ඩිංග්ස් සමූහයේ කොටස් හිමිකාරීත්වය, එරට අපගේ ඒකාබද්ධ හවුල්කාරී සමාගම වෙත අලෙවි කිරීමේ එකඟතාවකට පත්ව සිටිනවා.” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරිනිය මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස හේමාස් සමූහය මියන්මාරයේ සිදුකරන සියලුම මෙහෙයුම්වලින් ඉවත් වන බවත්, එය 2021/22 මූල්‍යවර්ෂයේ සිව්වැනි කාර්තුවේ සිට බලාත්මක වනු ඇති බවත් පැවසෙයි.

හේමාස් සමූහය සිය හේමාස් ෆාර්මසූටිකල් සමාගම හරහා 2017 වසරේදී මෙලෙස මියන්මාරය වෙත සිය මෙහෙයුම් පුළුල් කළ අතර, එහිදී හේමාස් මැන්ඩලාර් ෆාර්මසූටිකල්ස් ලිමිටඩ් ලෙස නව සමාගමක් ස්ථාපිත කෙරිණි. මෙතෙක් මියන්මාරය වෙත සැපයුම් සිදු නොකෙරුණු ගුණාත්මක බවින් ඉහළ බහුජාතික සහ වෙනත් ඖෂධ සමාගම්වල නිෂ්පාදන එරට වෙත ළගා කිරීම වෙනුවෙන් මෙම සමාගම පිහිටවුණි.

Visits: 1068