වටවල ප්ලාන්ටේෂන්ස් වෙත ජපානයෙන් ලැබුණු ආයෝජනයෙන් ගැබිනි වැස්සියන් 125ක් මිලදී ගත්තාලු

වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක වටවල ඩේරි ලිමිටඩ් සමාගම වෙත ජපානයේ SBI Ven Holdings සමාගම  මගින් සිදුකළ ආයෝජනයෙන් තමන් උසස් තත්ත්වයේ කිරි ගවයන් මිලදී ගැනීමක් සිදුකළ බව වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම අනාවරණය කරයි.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 සඳහා වන මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ සභාපති සුනිල් ජී. විජේසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් ජපානයේ SBI Ven Holdings වෙත සිදු කළ ඩොලර් මිලියන 2ක් වටිනා පෞද්ගලික කොටස් නිකුතුවක් හරහා මෙම ප්‍රාග්ධන ආයෝජනය රැස් කරගැනීම සිදුවිය.

ඒ අනුව 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී මෙම ආයෝජනය සමාගම වෙත හිමි වුණු බවත්, 2021/22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී Holstein Friesian සහ Holstein Jersey යන උසස් වර්ගයේ ගැබිණි වැස්සියන් 125 දෙනෙකු ආනයනය සඳහා එම මුදල් යොදවා ගත් බවත් මෙහිදී සටහන් කෙරී ඇත.

විශේෂයෙන්ම රට තුළ නැවුම් කිරි සඳහා වන ඉල්ලුමේ ඉහළ යාමත් සමගින්ම කිරි සඳහා අද වනවිට හොඳ මිලක් හිමිව තිබීමත් සමගින්ම වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කිරි නිෂ්පාදන අංශය තුළ සිය මෙහෙයුම් තවදුරටත් වර්ධනය කිරීම යටතේ මෙම මුදල් යෙදවිම සිදු කර තිබෙන බවත් පවසයි.

ඒ අනුව මෙම මූල්‍ය ප්‍රකාශනයට අනුව 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේ මාස 09ක කාලය වනවිට වටවල ඩේරි ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 511ක ආදායමක් රැස් කරගෙන තිබේ. එය පෙරට වසරේ එම කාර්තුව හා සැසඳීමේදී 5.5%ක වර්ධනයකි. විශේෂයෙන්ම කිරි මිල ඉහළ යාම ඊට හේතුව වී තිබේ.  

මේ අතරම පාම් ඔයිල් සඳහා වන මිල ගණන්ද ඉදිරි කාර්තුවේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පවසයි. විශේෂයෙන්ම රසායනික/අකාබානික පොහොර සඳහා වන සහනාධාරය ඉවත් කිරීම සහ පොහොර හිඟය මගින් නිෂ්පාදන පිරිවැය ඉහළ නංවනු ඇති බවත්, එය පාම් ඔයිල් කර්මාන්තය වෙත ඍණාත්මක බලපෑමක් එල්ල කර තිබෙන බවත් සමාගම පවසයි.

මිට අමතරව වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම මගින් සිය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමක් සිදුකිරීමට කටයුතු කළ බවත්, සිය වියදම් පාලනය කරමින් ඵලදාවන් තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප පොහොර සම්බන්ධයෙන් සොයා බැලිම් සිදු කරන බවත් මෙහිදීවැඩිදුරත් සඳහන් කර තිබේ.

මෙම මූල්‍ය ප්‍රකාශනයට අනුව 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව වනවිට වටවල ප්ලාන්ටේෂන්ස් පීල්සී සමාගම මගින් රුපියල් බිලියන 5ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පෙර වසරේ එම කාලය සාපේක්ෂව 69.4%ක වර්ධනයකි.

එහිදී පාම් ඔයිල් හරහා ලැබුණු ආදායම රුපියල් බිලියන 4.5ක් ලෙස සටහන්ව තිබේ. එය පෙර වසරේ එම කාලසිමාවේදී ලැබුණු ආදායමට සාපේක්ෂව 81..8%ක වර්ධනයකි.

මේ සියල්ලමත් සමගින්ම 21/22 මූල්‍ය වර්ෂයේ මාස නවයක කාලය තුළදී වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ලැබූ බදු පසු ලාභය රුපියල් බිලියන 2.7ක් ලෙස සටහන්ව තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවේදී සමාගම ලැබූ බදු පසු ලාභයට සාපේක්ෂව එය රුපියල් බිලියන 1.4ක වර්ධනයකි.

Visits: 841